චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිසක් පසුගියදා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා යුවාන් ජියාජුන් මහතා ප්රමුඛ චීන නියෝජිත පිරිස දැනුවත් කර තිබෙන අතර, රට තුළ පවතින නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳවද පැහැදිලි කර ඇත.
එසේම මෙම කටයුතුවලදී කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡාවට ලක් වී ඇත.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය මෙන්ම රජය ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වූ බව වාර්තා වෙයි.
එම කටයුතු අවසන් වීමෙන් පසු, නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කර ජාතික ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස දායක කරගත හැකි වනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.
අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කළ චීන නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධන ගමන් මඟ පිළිබඳ විශ්වාසය පළ කර ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වෙයි.