“ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී පෙරවරු 09ට විරෝධතාවය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.
ඒකාධිපති ගමනකට මුලපුරන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙම උද්ඝෝෂණය සහ විරෝධතාවය පැවැත්වෙන අතර ඊට සහභාගී වන ලෙස සියලුම ජනතාවට ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අතර ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය අද පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහභාගී නොවීමට තීරණය කර තිබේ.
පවතින මතභේදාත්මක වාතාවරණය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ ප්රජාතන්ත්රවාදී බලවේග එක් පොදු වේදිකාවකට එක් කරමින්, ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරැකීම සඳහා පුළුල් හා ශක්තිමත් මහජන බලයක් ගොඩනැගීම සිය අරමුණ වූ බව ද එම නිවේදනයේ සඳහන්ය.
ඒ අනුව අපේක්ෂිත ආකාරයෙන් විරෝධතාවය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ද ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය පවසයි.

