දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කුමන ආකාරයෙන් හෝ පැනවීමට රජය පියවර ගෙන නොමැති බවය.
අදාල සංස්කෘතික කටයුතු වෙනුවෙන් රජය පහසුකම් නිරන්තර සපයන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මේ සම්බන්ධව විශේෂඥ කණ්ඩායමක් සමග එක්ව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවත් එම ගැසට් නිවේදනය මේ වන විට අවසන් අදියරේ පවතින බවත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා,
“විශේෂයෙන් කියන්න ඕනේ දළදා පෙරහැරට හෝ වෙනත් ආගමික කටයුතුවලට අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කිසිදු ආකාරයෙන් ලබා නොදීමේ තීරණයක රජය නෑ ඒ වෙනුවෙන් අදාළ පහසුකම් රජය සපයනවා. රජය තීරණය කෙරුවා විශේෂයෙන් සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍යාංශයත් ඒ වගේම මේකට විශේෂඥ කණ්ඩායමක් සමග එක්ව මේ සම්බන්ධව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම, ගැසට් නිවේදනයක් සකස් කිරීම සම්බන්ධයෙන්. ඒ පිරිස මේ වන විට එය සකසමින් තිබෙනවා. එය අවසාන අදියරේ තිබෙනවා විශේෂයෙන් පෙරහැරවල් සහ සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්”

