ශානි අබේසේකර හා රවී සෙනෙවිරත්න යන මහත්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් කිසිදු බලපෑමක් කර නොමැති බව ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පවසයි.
ජනාධිපති නීතීඥවරයා මේ බව සඳහන් කළේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණු අවස්ථාවේදීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව තමන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමට ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.
ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.
එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.
”ස්වාමීනි, පසුගිය නඩු දිනයේ අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් කෙරෙහි ඔබතුමන්ලාගේ අවධානය යොමු කළා. එහිදී සභානායකවරයා සඳහන් කර තිබුණා ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මෙම කටයුතුවලට පත් කළේ කතෝලික ප්‍රජාවගේ නායකයා වන කාදිනල් හිමිගේ ඉල්ලීමකට අනුව බවට. ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට එරෙහිව අපරාධ නීතිය යටතේ අධි චෝදනා ගොනු කරන ලෙස ජයකී ද අල්විස් කමිටුව නිර්දේශ කර තිබෙනවා. එම වාර්තාව මා අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වගේම කාදිනල් තුමා සිය අතරමැදි පෙත්සම තුළින් වැරදි කරුණක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. උන්වහන්සේ සිය අතරමැදි පෙත්සමේ 18.1 ඡේදයේ සදහන් කර තිබෙනවා පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී පෙත්සම්කාර සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ වශයෙන් කටයුතු කළ බවට. මෙය නිවැරදි කරුණක් නොවේ. දිවුරුම් පිට තමයි උන්වහන්සේ මේ ප්‍රකාශය සිදුකර තිබෙන්නේ. ”
ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවේය.
” චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා. එම නාලිකාව ප්‍රකාශ කර තිබුණා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ බවට. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු විය යුතුයි. පසුගිය කාලයේ විධිමත් විමර්ශනයක් සිදු වුණේ නැහැ. වර්තමානයේ තමයි විධිමත් විමර්ශනයක් සිදු වන්නේ. එය තමා වින්දිතයින් අපේක්ෂා කරන්නේ. ඊට බාධා සිදු වන ආකාරයේ ක්‍රියා සිදු නොවිය යුතුයි. එම නිසයි කාදිනල්තුමා අධිකරණය හමුවට පැමිණියේ. ශානි අබේසේකර හා රවී සෙනෙවිරත්න පත් කිරීම සම්බන්ධයෙන් කාදිනල්තුමා කිසිදු බලපෑමක් කරලා නෑ. වින්දතයින්ට යුක්තිය ඉටු කිරීම සඳහා විමර්ශන අඛණ්ඩව ඉදිරියට ගමන් කළ යුතුයි”
ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවේය.
“සභානායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා ශානි අබේසේකර මෙම විමර්ශනය සඳහා පත් කළේ කාදිනල්තුමාගේ ඉල්ලීමකට අනුව බවට. මේ ශානි අබේසේකර ප්‍රංශයට ගොස් වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැදවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. පොලිස් නිලධාරියෙකුට මේ ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන්ද ස්වාමීනි ? ආරක්ෂක අංශ නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම ජනතා පරමාධිපත්‍යයට පටහැනි ක්‍රියාවක්. මෙම තත්ත්වයට එරෙහිවයි මගේ සේවාදායක ස්වාමීන් වහන්සේ අධිකරණයට පැමිණියේ. ”
ඉන් අනතුරුව තවත් අතරමැදි පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද කරුණු ඉදිරිපත් කළ අතර වැඩිදුර අතරමැදි පෙත්සම් සලකා බැලීම අගෝස්තු 10 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

