ISIS සහායට ගිය මුතානා යළි ඇමෙරිකාවට ගන්නෙ නෑ – ට්‍රම්ප්

0
52

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට සහාය දැක්වීම සඳහා ඇමෙරිකාව හැරගිය හොදා මුතානාට යළි ඇමෙරිකාවේ දොරගුළු විවෘත නොකරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පදිංචිව සිට ඇති එවකට 20 හැවිරිදි වියේ පසුවූ මුතානා, තුර්කියේ විශ්වවිද්‍යාලයක උත්සවයකට සහභාගී වීමට යන බව සිය ඥාතීන්ට පවසමින් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහාය දැක්වීම සඳහා සිරියාවට ගොස් තිබුණි. ඇගේ කතාව බ්‍රිතාන්‍ය ජාතික ෂමීමා බෙගම්ගේ කතාවට සමාන වන අතර, ඇයද තවත් මිතුරියන් තිදෙනෙකු සමග 2015 වසරේදී සිරියාවට ගොස් මේ වනවිට අනාථ කඳවුරක සිට යළිත් බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා සිටියේ, මුතානාට යළි ඇමෙරිකාවට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස තමන් රාජ්‍ය ලේකම් පොම්පෙඕට උපදෙස් දුන් බවයි.

කෙසේ වෙතත්, ඇගේ ඥාතීන් සහ නීතීඥයන් මේ වනවිට එක්දරු මවක වන ඇයට ඇමෙරිකානු පුරවැසිභාවය හිමි බව පවසමින් මේ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීමට උත්සාහ කළද, රාජ්‍ය ලේකම්වරයා පවසා තිබුණේ ඇය තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙකු නොවන බවත්, ඇයට රටට ඇතුළු වීමට කිසිසේත්ම අවස්ථාව නොදෙන බවත්ය.

සිරියාවේ අවසන් භූමි භාගයත් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට අහිමිවීමත් සමග මේ ආකාරයෙන් විදේශයන්හි සිට එම සංවිධානයට සහාය දැක්වීමට පැමිණි පිරිස් අනාථ කඳවුරුවල රැඳී සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.