අන්තර්ජාලය මඟින් සූදු ක්රීඩා කළ විදේශ ජාතිකයින් අට දෙනෙකු තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 4වැනිදා තලවතුගොඩ ප්රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් පිරිසක් රැඳී සිටිමින් පරිගණක හා ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා නීතිවිරෝධී ලෙස මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරන බවට ලද දුරකථන පණිවුඩයක් මත තලංගම පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත අපරාධ වාර්තා කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය, පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහාය ඇතුව ඊයේ (04) අදාළ නිවස පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී එම නිවසේ රැඳී සිටි විදේශ ජාතික සැකකරුවන් අට දෙනෙකු පරිගණක යන්ත්ර 06ක්, ජංගම දුරකථන 39ක් ඇතුළු පරිගණක උපාංග රැසක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 22 හා 51 යන වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයින් වන අතර, වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.

