නීතිවිරෝධීව ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙනවිත් ඒවා කටුනායක ගුවන් තොටුපොළින් පිට කරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පල්ලේකැළේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51ක ව්‍යාපාරිකයෙකු වන අතර සැකකරු රැගෙන ආ ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි හැට පන් ලක්ෂ දහනව දහස් එකසිය අනු දෙකකට ආසන්න බවද සඳහන් වේ.
සැකකරු ඊයේ (03) ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී සිය සිරුරේ පාර්සල් 04ක් ලෙස සකස් කළ ග්‍රෑම් 996ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සඟවා රැගෙන විත් ඇත.
පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව අද (04) දින අලුයම තෙක් මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට සහ මෙම ගුවන් මගියාට රුපියල් ලක්ෂ 37 දඩ මුදලක් ගෙවන ලෙසටද නියෝග කර තිබේ.

