එල්නිනෝ තත්ත්වයේ බලපෑම මේ වන විට 100%ක සම්භාවිතාවකට පැමිණ ඇති බැවින්, ආණ්ඩුව, විපක්ෂය සහ ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාවම එක්ව ඊට සාර්ථකව මුහුණ දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය ඇමතූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මෙම භයානක තත්ත්වයෙන් මිදීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව විනිවිදභාවයෙන් යුත් ජාතික කථිකාවතකට මුලපිරිය යුතු බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් මෙම සංසදය මගින් ඒ සඳහා වන වැඩසටහන් ආරම්භ කරන බවද ඔහු පැවසීය.
මිනිස් සම්පත මෙන්ම ඡන්ද බලය නොමැති සතා සිවුපාවා, වන සම්පත, පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම ප්‍රධාන ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එය වර්තමාන මෙන්ම අනාගත පරපුරේ පැවැත්මටද අතිශය වැදගත් වන බව ඒ මහතා සඳහන් කළේය.
තවද, මෙරට ආපදා කළමනාකරණ යාන්ත්‍රණය මගින් සිදුවන සේවය අගය කළ විපක්ෂ නායකවරයා, ආපදාවක් සිදු වූ පසු ප්‍රතිචාර දක්වනවාට වඩා පූර්ව ආපදා ප්‍රතිචාරාත්මක ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

