දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (13) දිනයේදී සිදුව ඇති බවය.
කිරින්ද, හබරණ, අනුරාධපුර, මැදවච්චිය, හක්මණ යන පොලිස් වසම් තුළින් මෙම රිය අනතුරු වාර්තා වී තිබේ.
ඊයේ අලුයම කිරින්ද පොලිස් වසමේ කිරින්ද තිස්සමහාරාම මාර්ගයේ විලමුල්ල ප්රදේශයේදී කිරින්ද දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා තවත් පුද්ගලයෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇත.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ අවුරුදු 21ක් වූ කැකිරාව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර හබරණ පොලිස් වසමේ හබරණ කන්තලේ මාර්ගයේ අලුත්ඔය ප්රදේශයේදී කන්තලේ දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වූ අග්බෝපුර ප්රදේශයේ පදිංචිකාරියකි.
එමෙන්ම අනුරාධපුර පොලිස්වසමේ අනුරාධපුර රඹෑව මාර්ගයේ සාලියපුර ප්රදේශයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ බස් රථයක් පසු කරයාමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය බස් රථයේ ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පැදිකරු එම බස් රථයටම යටවී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 25ක් වූ සාලියපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර මැදවච්චිය පොලිස් වසමේ හොරොව්පතාන මැදවච්චිය මාර්ගයේ කිරිගල්වැව ප්රදේශයේදී මැදවච්චිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඇළකට පෙරළී තිබේ.
අනතුරින් තුවාල ලැබූ රියදුරු හා කාන්තාවන් දෙදෙනෙකු මැදවච්චිය රෝහළට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම අනෙක් කාන්තාව වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යැවීමටද පියවර ගෙන තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වූ මඩකලපුව ප්රදේශයේ පදිංචිකාරියකි.
තවද හක්මන කරතොට මාර්ගයේ කරතොට ප්රදේශය ආසන්නයේදී හක්මන දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 20ක් වූ හක්මණ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම අනතුරු සම්බන්ධව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

