එක්සත් ජනපදයේ නව මෙක්සිකෝ ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන මෙටා සමාගමට ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 567ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ.
නව මෙක්සිකෝ දිස්ත්‍රික් විනිසුරු Bryan Biedscheid සඳහන් කළේ මෙටා සමාගම ” public nuisance” බවට පත්ව ඇති අතර, වායු දූෂණයක් මෙන්ම එහි බලපෑම්ද සමාජයට හානි සිදුකරන බවය.
එම නිසා අනාගත හානි අවම කිරීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීමටද නියෝග කර ඇත.
මෙම තීන්දුවට පෙරද එම නඩුවේදී මෙටා සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක් නියම කර තිබූ අතර, ඒ අනුව සමස්ත දඩ මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විනිසුරුවරයා සිය තීන්දුවේදී මෙටා සමාගම කර්මාන්ත ශාලාවකට සමාන කරමින්, එහි නිෂ්පාදනය වෙළෙඳ දැන්වීම් සහ අන්තර්ගතය වන අතර, ළමුන්ට සිදුවන මානසික හානි සහ ලිංගික හිංසනය එම කර්මාන්ත ශාලාවෙන් නිකුත් වන දූෂණය ලෙස සැලකිය යුතු බව ප්‍රකාශ කළේය.
මෙටා සමාගම මෙම තීන්දුව ප්‍රතික්ෂේප කරමින් අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇත.
සමාගම පවසන්නේ තම වේදිකාවන්හි පරිශීලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන බවත්, හානිකර අන්තර්ගතය සහ අයහපත් ක්‍රියාකාරීන් හඳුනාගෙන ඉවත් කිරීමේ අභියෝග පිළිබඳ විවෘතව කටයුතු කර ඇති බවත්ය.
මෙම නඩුව ආරම්භ වී තිබුණේ 2023 වසරේදී නව මෙක්සිකෝ ප්‍රාන්තය විසින් ගොනු කළ නඩුවක් මගිනි.
එහිදී මෙටා සමාගමේ recommendation algorithms මඟින් තරුණ පරිශීලකයන් හානිකර අන්තර්ගතයන් සහ ලිංගික අපරාධකරුවන් වෙත යොමු කළ බවට චෝදනා එල්ල විය.
විනිසුරුවරයා නියෝග කළ අරමුදලෙන් ඩොලර් මිලියන 420ක් පමණ මෙටා පද්ධති හේතුවෙන් දැනටමත් හානියට පත් දරුවන්ගේ මානසික සහ චර්යාත්මක සෞඛ්‍ය ප්‍රතිකාර, උපදේශන සේවා සහ අනෙකුත් පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොදවනු ඇත.
මෙය ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් මෙටා සමාගමට නියම වූ විශාලතම මූල්‍ය දඩය වන අතර, සමාජ මාධ්‍ය සමාගමක් ” public nuisance” ලෙස අධිකරණයක් විසින් නිල වශයෙන් නම් කළ පළමු අවස්ථාව ලෙසද සැලකේ.

