අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පවත්වා තිබේ.
එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කර ඇත.
ඒ අනුව වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක්ද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණකරුගේ ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත.
එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති නිසා එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම නිසා අදාළ ජංගම දුරකථනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබේ.
එමෙන්ම අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙල බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි ප්‍රශ්න කර ඇත.

