පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු 12ක් විවෘත කිරීමට වාරිමාර්ග ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබේ.
ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කලාවැවෙහි වාන් දොරටු විවෘත කිරීමෙන් පසු රාජාංගනය ජලාශය වෙත ලැබෙන ජල ධාරිතාව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ජලාශයේ ආරක්ෂාව වෙනුවෙන් ඊයේ (11) පස්වරුව වනවිට මෙලෙස වාන් දොරටු විවෘත කිරීමේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගත් බව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
ඒ අනුව, මේ වන විට ජලාශයේ, වාන් දොරටු 04ක් අඩි 06 බැගින්ද, වාන් දොරටු 04ක් අඩි 05 බැගින්ද, වාන් දොරටු 04ක් අඩි 04 බැගින්ද, විවෘත කර ඇත.
මේ හරහා තත්පරයට ඝන අඩි 14,287ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බව සඳහන් වෙයි.
ජල මට්ටම ඉහළ යාමත් සමඟ කලා ඔය දෙපස පහත් බිම්වල වෙසන ජනතාවට සහ කලා ඔය පරිහරණය කරන්නන්ට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී සිටියි.

