කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපළේදී එරට ආගමන විගමන නිලධාරීන්ගෙන් එල්ල වූ බාධා කිරීම් හේතුවෙන්, ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි ටාජ් ප්රමුඛ ඉරාන පාපන්දු සම්මේලන නියෝජිත පිරිස FIFA සම්මේලනයට සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇත.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට පෙර වෑන්කුවර් හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වැදගත් හමුවට සහභාගී වීමට පැමිණි ඉරාන නිලධාරීන්, වලංගු වීසා බලපත්‍ර සහිතව පැමිණියද ගුවන්තොටුපළේදීම නැවත හරවා යවා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
මෙම තීරණයට හේතුවී ඇත්තේ ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි ටාජ් හට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමඟ පවතින බව කියන සබඳතාවය.
කැනඩාව විසින් 2024 වසරේදී IRGC සංවිධානය ‘ත්‍රස්තවාදී සංවිධානයක්’ ලෙස නම් කරන ලද අතර, එහි සාමාජිකයන්ට කැනඩාවට ඇතුළු වීම තහනම් කර ඇත.
කැනඩා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පුද්ගලික තොරතුරු රහස්‍යභාවය සුරකිමින් වුවද, IRGC නිලධාරීන්ට කැනඩාව තුළ ඉඩක් නොමැති බව සිය ප්‍රතිපත්තිය බවය.

