මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශාල වංචා හා දුෂණ සහිත කැලයක් බවත් ඒවා ක්‍රමානුකූලව නිරවුල් කරගෙන ඉදිරියට යාමට පියවර ගන්නා බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.
ඔහු මෙසේ පැවැසුවේ අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රවාහන කේෂත්රයේ ගැටලු සහ ඉදිරියේදී සංවර්ධනය විය යුතු කටයුතු පිළිබදව මෙහි දී සාකච්ජාවට ලක්විය.
ප්‍රවාහන හා මාර්ග කටයුතු සම්බන්ධයෙන් සංවර්ධන කටයුතු පහසු කිරීම හා නිසියාකාර කිරීම උදෙසා වන දිස්ත්‍රික් කමිටුවක් පිහිටුවීම ද මෙහිදී සිදු කෙරිණි. එහි සභාපතිවරයා ලෙස ජාතික ජනබල වේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පත් කෙරිණි.
මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
කැබිනට් මණ්ඩලයේ එකගතාවක් මත ප්‍රාදේශීය වශයෙන් ජන ජීවිතයට බලපාන අමාත්‍යාංශවල දිස්ත්‍රික් මට්ටමෙන් කමිටු පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අප අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටු රැස්වීම අද (01) දින පැවැත්වුණා. අනුරාධපුර මල්වතු ඔය පාලම පටුයි. එම නිසා අද එම පාලම වැඩි දියුණු කිරීමටත් මාර්ගය අලුත්වැඩියා කිරීමටත් මුදල් ලබාදීමත් කළා. ඒ වගේම ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීමටත් රුපියල් මිලියන 250ක් වෙන් කළා.