දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්‍රම අවසන් කිරීම සහ එවැනි අපරාධ කරන්නන්ට නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කෙරුණු දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් තවත් දිනයකට කල් තබනු ලැබීය.
ළමා රැඳවුම් මධ්‍යස්ථාන සහ පාසල් ඇතුළු විවිධ ස්ථානවල දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් නැවැත්වීමට ප්‍රමාණවත් නීතිමය විධිවිධාන ශ්‍රී ලංකාවේ දිගු කලක් තිස්සේ නොතිබුණ හෙයින් එම ගැටළුව විසඳීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ගුරු වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන් සමඟ කළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත.
මෙය කිසිවිටෙකත් ගුරුවරුන් ඉලක්ක කරගත් පනතක් නොවන බවත්, දරුවන්ට ශාරීරිකව දඬුවම් කරන ඕනෑම කෙනෙකුට අදාළ වන නීතියක් බවත් අමාත්‍යාංශ නිලධාරීහු රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පෙන්වා දුන්හ.
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පෙරවරු 11.00ට පමණ ආරම්භවී පස්වරු 5.30 දක්වා පැවැත්විණ. මෙම පනත් කෙටුම්පතේ පවතින යම් යම් අඩුපාඩු නිවැරදි කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.