ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරිම සඳහා දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් ඊයේ (27) තීරණය කරනු ලැබිය.
මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පත්කර තිබේ.
විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායක සහ නියෝජිත හමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයෙදී ඊයේ (27) දෙවන දිනටත් රැස්විය.
ඒ අනුව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මේ සඳහා එක්ව සිටියහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු කළ සියලු දෙනාට ම සිය ස්තුතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදි පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතු වූ ප්රජාතන්ත්රවාදයට එරෙහි අභියෝගය ජයග්‍රහණය කිරීමට සියලු පාර්ශව සමඟ ඒකාබද්ධ අඛණ්ඩ වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවය ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.