ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්යෙන් ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමේදී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදිය යුතු වුවත් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට මේ දිනවල සමාජයේ විශාල කතා බහක් නිර්මාණය වී ඇති ටෙන්ඩරයට ලබාදී ඇත්තේ සති තුනක කාලයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (22) ප්‍රකාශ කළේය.
හදිසි අවස්ථාවක් නිසා එම ටෙන්ඩරය සඳහා වන කාල සීමාව සති තුනට අඩු කිරීමට සිදුවූ බව ආණ්ඩුව පැවැසුවත් එම හදිසි අවස්ථාව කුමක්දැයි තවමත් රජය ප්‍රසිද්ධ කර නැතැයි ජයගොඩ මහතා පැවැසුවේය. ටෙන්ඩරයක් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාල සීමාවක් ලබා නොදුන්විට ඒ සඳහා උනන්දු පාර්ශ්වයන්ට ලංසු ඉදිරිපත් කිරීමට තිබෙන අවස්ථා මග හැරෙන බවත් එවිට එම ටෙන්ඩරයට ඇස ගසාගෙන සිටින පාර්ශ්වයකට එම ටෙන්ඩරය හිමිකර ගැනීමට අවස්ථාව හිමිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එවන් පසුබිමක අක්‍රමිකතාවයක් සිදුවූවා යැයි කියන ගල් අඟුරු ටෙන්ඩරය සඳහා සති තුනක කාලයක් ලබා දුන්නේ රජය යම් කිසි පාර්ශ්වයක් සමග ඇතිකර ගත් ගනුදෙනුවක් නිසාවෙන් දැයි සැකයක් මතුවන බවද ජයගොඩ මහතා පැවැසුවේය.
සාමාන්‍යයෙන් මෙරට ගල් අඟුරු ටෙන්ඩර කැඳවන්නේ පෙබරවාරි හෝ මාර්තු මාසවල බවත් ජූලි මාසය වනවිට සමාගමක් තෝරාගෙන සැප්තැම්බර් මාසය වනවිට ඇණවුම බාර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. නමුත් මෙම ටෙන්ඩරය කැඳවා ඇත්තේ අගෝස්තු මාසයේ බවත් ඒ හේතුවෙන් ඇණවුම බාර ගන්නා විට නොවැම්බර් මාසය වනු ඇති බවත් ඔහු පැවැසුවේය. මේ හේතුවෙන් මෙරට ගල් අඟුරු හිඟයක් ඇති වීමේ අවදානමක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
ගල් අඟුරු හිඟයක් ඇතිවුවහොත් ජනතාවට ප්‍රශ්න දෙකකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔහු පැවැසුවේය. පළමු වැන්න ගල් අඟුරු හිඟවී වැඩිමිලට මිලදී ගැනීමට කටයුතු කළහොත් විදුලිය ගාස්තුව ඉහළ යනු ඇති බවත් ගල් අඟුරු හිඟවන අවස්ථාවේ වර්ෂාවද හිඟ වුවහොත් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ගල් අඟුරු හිඟයක් ඇතිවුවහොත් ඩීසල්වලින් ක්‍රියාත්මක වෙන පෞද්ගලික විදුලිබලාගාර හිමියන්ට වාසි අත්වන බවත් ඔවුන්ට වාසි ලබාදීමට ටෙන්ඩරය ප්‍රමාද කළා දැයි සැකයක් මතුවන බවත් ඔහු පැවැසුවේය. අනෙක් බරපතළම කාරණය නම් ටෙන්ඩරය අගෝස්තු මාසයේ කැඳවීමේ එම ටෙන්ඩරය පැනකේප් නම් සමාගමට ලබාදීමට කළ කුමත්‍රණයක් දැයි සැකයක් මතුවන බවද ඔහු ප්‍රකාශ කළේය.
ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාට ඉල්ලා අස්වීමෙන් වගකීමෙන් නිදහස් නොවිය හැකි බවත් ඔහුට විරුද්ධවද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ජයගොඩ මහතා පැවැසුවේය. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.