දිස්ත්‍රික් යෞවන සමාජ බලමණ්ඩලවලට ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයට රහස් ඡන්ද පවත්වා තරුණ තරුණියන් පත්කිරීමට කටයුතු කළ බවත් වැලේවැල් නැති විපක්ෂය ඒ පිළිබඳව වෙනත් මතයක් නිර්මාණය කිරීමට උත්සහ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඊයේ (4) පැවසීය.
යෞවන සමාජ බලමණ්ඩලට නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ව්‍යාකූල තත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා එසේ පැවසීය.
ඕනෑම ආයතනය සාමාජිකයන්ගේ බහුතර කැමැත්තෙන් නිලධාරීන් තෝරාපත්ගැනීම ප්රජාතන්ත්රවාදී ක්‍රමය බවත් එහිදී පරාජයට පත්වන අය පරාජය පිළිගෙන ජය ලැබූ අය සමඟ එකතුව කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
ආණ්ඩුව යෞවන සමාජ බලමණ්ඩල පිහිටුවීමට කරගෙන යන වැඩපිළිවෙළට විරෝධය දක්වන අය එක එක දේශපාලන පක්ෂවලින් ඡන්දය ඉල්ලපු අය බවත් යෞවන සමාජ දේශපාලනීකරණ කිරීමට ආණ්ඩුවේ කිසිඳු සූදානමක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ වැඩපිළිවෙළ යටතේ මෙරට තාරුණ්‍යයට ජාතික තරුණ සේවා සභාවේ ඇත්ත හිමිකාරිත්වය දීමේ අවශ්‍යතාවක් ඇති බවත් වර්තමාන ආණ්ඩුව පත්වූ මොහොතේ සිට ජාතික තරුණ සේවා සභාව ඇතුළු අනිකුත් ආයතන තරුණයන්ට අයිති ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජාතික තරුණ සේවා සභාවේ මහජන මුදල්වලින් දේශපාලඥයන් සහ ඉතාම සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් කළ දුෂණ සහ වංචා ‘කෝප් සහ විගණන වාර්තා හරහා දැවැන්ත ප්‍රමාණයක් හෙළිවී ඇති බවත් ආණ්ඩුවට ලැබුණු ජනවරමට අනුව එම දූෂණ සහ වංචා පිළිබඳව සොයා බැලීම සහ නීත්‍යානුකූල පියවර ගැනීම ඉදිරියට කරගෙන යන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව ජාතික තරුණ සේවා සභාව රටේ නායකයාගේ දුවලාගේ සහ පුතාලාගේ හෝ ඇමතිවරයාගේ පුද්ගලික දේවල් ක්‍රියාත්මක නොවන බවත් ජාතික තරුණ සේවා සභාව පැහැදිළි ලෙසම දේශපාලනීකරණයට ලක්ව තිබූ බවත් ඔහු පැවසීය.
ජාතික තරුණ සේවා සභාව පිළිබඳව මීට වසර කීපයකට පෙර හොඳ ප්රවෘත්ති අහන්න නොලැබුණු බවත් දූෂණ, වංචා සහ දේශපාලන නායකයන්ගේ දුවලා පුතාලා ඔසවා තබන වැඩසටහන් දකින්න ලැබුණු බවත් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා වැඩි දුරටත් කීය.