යුද්ධය ආශ්වාදයක් කරගෙන, යුද්ධයෙන් බලය ලබාගෙන එය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රට මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනමින් විඳින ආශ්වාදය හා සතුට ජනතාවට හෙළි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ ඊයේ (19) පැවැති 16 වැනි රණවිරු සැමරුම් උළෙලේදී ඔහු ඒ බව පැවැසීය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.
විටින් විට බලය ලබා ගැනීම සඳහාත්, බලය ආරක්ෂා කර ගැනීම සඳහාත්, බලය පාවිච්චිකර සිදුකළ අපරාධ වසා ගැනීම සඳහාත් යුද්ධය උපයෝගී කරගෙන තියෙනවා. එසේ නොවීමට ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වසර දෙකහමාරකට වැඩි කාලයක් සිරගත වී සිටිය යුතු නැහැ. ඔහු සිරගත කිරීමට හේතුව බලයයි. නීතිය හෝ යුද්ධය ඊට හේතු සාධකයක් නොවේ.
අප මහ පොළොව තෙත් වෙන තරම් ලේ හැලූ ජාතියක්. ගංගා රුධිරයෙන් ගලාගෙන යන තරමට ලේ හැලූ ජාතියක්. මවුපියන්, ඥාතීන් ගංගා පිරෙන තරම් කඳුළු හලපු ජාතියක්. අපි යුද්ධයේ බිහිසුණු විනාශයන්ගේ අත්දැකීම් ලැබූ මිනිසුන් වන අතර එවැනි අත්දැකීම් යළි මෙරටට ඇතිවීම වැළැක්විය යුතුයි.
යුද්ධය කියන්නේ ඛේදවාචකයක්, විනාශයක් බව අප සැවොම තේරුම් අරගෙන තිබුණත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ සමහර අය යුද්ධය ආශ්වාදයක් ලෙස සිතනවා. බයිනෙත්තුව අත තිබෙන සෑම සොල්දාදුවෙකුගේම, හැම නිලධාරියෙකුගේම අපේක්ෂාව තමන් අත ඇති ගිනි අවිය කොයි මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවා යන ප්‍රාර්ථනාවයි.
එය පොදු සමාජයේ ප්‍රාර්ථනාව ද විය යුතුයි. එහෙත් රණවිරුවන් අත තිබෙන ගිනි අවිය කොයිම හෝ මොහොතක හෝ පත්තු කළ යුතු බවට ඉතාමත් කුඩා කණ්ඩායම් නිරන්තරයෙන් කල්පනා කරමින් සිටිනවා.
අපේ ස්ථාවරය වන්නේ ඔබ අත ඇති ගිනි අවිය තවත් පුද්ගලයෙකුගේ පපුවට තබා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය කිරීමිය. කාගේවත් ගෝරනාඩුවලට කිසිවෙකුත් යටත් නොවිය යුතු අතර අපි යටත් විය යුත්තේ සත්‍යයට, මානව වාදයට සහ මිනිසත්කමටයි.