බුද්ධාගමට අපහාසාත්මක වන අයුරින් අන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකිරීම සහ එම ප්‍රකාශ විකාශය කිරීමට අදාළව ගොනුකර තිබූ නඩුවෙන් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සහ ‘එස්.එල් ව්ලොග්’ යූ ටියුබ් චැනලයේ හිමිකරු බෘෘනෝ දිවාකර නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ඊයේ (19) නියෝග කළේය.
නඩුකාරය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා ලිඛිතව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙන බවත් ඒ හේතුවෙන් නීතිපති උපදෙස්මත විත්තිකරුවන් දෙදෙනාව අදාළ නඩුකරයෙන් නිදහස් කරන බවත් නියෝගය නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේ තීරණය පිළිබඳ නැවත සළකා බලන ලෙස පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය. කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ නඩුව පවත්වාගෙන යා නොහැකි බවට නීතිපතිවරයා පැහැදිලිව උපදෙස් ලබා දී තිබෙන බවත් නීතිපති උපදෙස් සළකා බැලීමක් සිදුකළ නොහැකි බවත්ය. එසේම උපදෙස් සම්බන්ධයෙන් අධිකරණය ගන්නා ක්‍රියාමාර්ගය දින 14 ක් ඇතුළත ලිඛිතව නීතිපතිවරයා වෙත දන්වන ලෙසද ලිපියේ සඳහන් වන බව කොටුව මහේස්ත්‍රාත්වරයා පැවැසුවේය.
කොළඹ ප්‍රසිද්ධ පාසලක පැවැති ‘මෝඩාභිමානය’ නම් ප්‍රහසන වැඩසටහනකදී බුදුදහමට, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය නැමැත්තියට චෝදනා එල්ල වූවාය. එසේම ‘එස්.එල්. ව්ලොග්’ නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ එම වීඩියෝව ප්‍රචාරය කරමින් ප්රචාරයට අනුබලදීම සම්බන්ධයෙන් , එහි හිමිකරු වන බෲනෝ දිවාකර නැමැත්තාට චෝදනා එල්ල විය.
නතාශා එදිරිසූරිය රටින් පිටවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පසුගිය වසරේ මැයි 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට පත්වුණු අතර බෘෘනෝ දිවාකරව පැය 8 ක් එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය වසරේ මැයි 31 වැනිදා අත් අඩංගුවට ගනු ලැබුවේය.
අනතුරුව පසුගිය වසරේ ජූනි 21 වැනිදා බෘෘනෝ දිවාකර ඇප මත නිදහස් වූ අතර නතාෂා එදිරිසූරිය පසුගිය වසරේ ජූලි 05 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූවේය.
විත්තිකරුවන් දෙදෙනාම ඊයේ (19) අධිකරණයේ පෙනී සිටියේය.