කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (29)නිකුත් කළේය.
ඉන්දියාවට අයත් යැයි කියන( ARK PRESTIGE)ආක් ප්‍රෙස්ටීජ් නෞකාවේ කපිතාන් ඉන්දීය ජාතික රාජ් දෙව් යාදේව් නමැති අයට මෙම විදෙස් ගමන් තහනම පැනවිය.
කොළඹ වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙසත්,තහනම් නියෝගය සම්බන්ධයෙන් කපිතාන්වරයා දැනුවත් කරන ලෙසත් දන්වා සිටියේය.
කොළඹ වරාය ඩොක්යාඩ් ජැටියේ නැංගුරම්ලා ඇති ඉන්දිය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් අදාළ විමර්ශනය මේ වෙන විට සිදුකරගෙන යමින් පවතින බැවින් කපිතාන්වරයා විදේශගතවීම් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය මාසයකට බලපැවැත්වෙන පරිදි නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කළේය.