ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන තීන්දුවක් ලබාදෙන ඉල්ලා සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
පෙත්සම අද (06) කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වනදා කැඳවන ලෙසය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම ප්රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබේ.
හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට එක් කරගැනීම සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශවලින් පසුව සිය පක්ෂ සමාජිකත්වය හා පක්ෂය තුළ තමන් දරන තනතුරුවලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගයේ නායකයින් සූදානම් වන බවට සරත් ෆොන්සේකා මහතා විසින් පැවරූ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය සරත් ෆොන්සේකා මහතා එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි.
එම වාරණ නියෝගය ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් ද කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව අදාළ තීරණය ප්‍රතිශෝධනය කොට සරත් ෆොන්සේකා මහතා විසින් ලබාගත් වාරණ නියෝග අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම ප්රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත.