ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා දෙන නිශ්චිත කාලයක් නොමැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
පළමු පියවර නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරාගත හැකි ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සමූහයකට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවයක් ඇති විය යුතු බවත් දෙවැනි පියවර නම් මෙරට ණය තිරසරභාවය නැවත ඇතිකර ගත හැකි බව පෙන්වා දෙන පැහැදිලි මාවතකට ශ්‍රී ලංකාව අවතීරණ වීම බවත් පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.
මෙම පියවර දෙක සම්පූර්ණ වූ පසු ඉදිරියට යා හැකි බවත් ඉන් අනතුරුව සමාලෝචන වාර්තාව සකස් කිරීමට යම් කාලයක් ගතවන බවත් එය විධායක කමිටුවට ඉදිරිපත් කිරීමටද තවත් යම් කාලයක් ගතවන බවත් පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.කෙසේ නමුත් මේ දක්වා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව සෑහීමකට පත්වන බවද පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා රජය ලබන බදු ආදායම පිළිබඳ සෑහීමකට පත් නොවන බවත් ලෝකයේ අඩුම බදු ආදායමක් ලබන රටවලට ශ්‍රී ලංකාවද අයත් වන බවත් ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19 ක් පමණ වන බවත් ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9 ක් පමණ වන බවත් පීටර් බෲවර් පැවසුවේය.
එම හිඩැස පිරවීම සඳහා ප්‍රමාණවත් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවත් බදු පාලනය කිරීම සඳහා යාන්ත්‍රණයක් තිබිය යුතු බවත් පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.2024 අවසාන වන විට රජයේ අදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 ක ප්‍රමාණයක් දක්වා වැඩිකර ගැනීම ඉලක්කය බවද පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.