මෙම වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රයට විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුවරිය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිත් තැවුලට පත්වූ පාසල් සිසුවියක් ඖෂධ අධිමාත්‍රාවක් පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
මහනුවර – පන්විල නාරම්පනාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකුයි මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ. ඇය මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රය අත්සන් කර ගැනීමට අවස්ථා කිහිපයකදී විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුවරිය හමුවීමට උත්සාහ කර ඇති අතර එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි ඇය සිත්තැවුලට පත්ව ඇත්තේ.
පසුව සිසුවිය නිවස තුලදී ඖෂධ අධිමාත්‍රාවක් පානය කර ඇති අතර, ඒ වනවිට ඇගේ දෙමව්පියන් ද නිවසෙහි සිට ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් සහ පන්තිභාර ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි පොලීසිය සදහන් කළේ.
මේ අතර, ගල්කිස්ස ප්‍රදේශයේ පාසල් යන වයසේ පසුවන දරු දැරියන් 400 කට අධික පිරිසක් විවිධ ගැටලු හේතුවෙන් පාසල් නොයන බවට අනාවරණ වී තිබෙනවා. ආර්ථික ගැටලු සහ පවුල් පසුබිම ආදී කරුණු හේතුවෙන් ඔවුන් මෙලෙස පාසල් නොයන බවටයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් යළිත් එම දරුවන් පාසල් යැවීම සදහා ගල්කිස්ස පොලීසිය සහ ප්‍රජා සම්බන්ධීකරණ කමිටුව එක්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම, අධ්‍යාපන කටයුතුවලදී ස්මාට් ජංගම දුරකථනය දරුවන් අතරින් ඉවත් කළ යුතු බව යුනෙස්කෝ සංවිධානය නිර්දේශ කර තිබෙනවා.
දරුවන් ජංගම දුරකථනවල තිරය දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් ඔවුන්ගේ චිත්ත ඒකාග්‍රතාවයට බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ.