ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (17) එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ එහි සේවකයකු ඇමැතිවරයා ඉදිරියේ දී විධායක නිලධාරියකුට පහර දීමට උත්සාහ කළේය.
රුපියල් ලක්ෂ ගණනක වංචා දූෂණ සිදුකරන බව කියමින් සහ ආයතනය විනාශ කරන බවට චෝදනා කරමින් එම සේවකයා විධායක නිලධාරියාට පහරදීමට තැත් කළ අතර පොලිස් නිලධාරීහු මැදිහත් වී මහත් පරිශ්‍රමයකින් තත්වය පාලනය කළහ.
රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවට පැමිණි අවස්ථාවේ සේවකයන් වංචා දූෂණ ආදිය පිළිබඳව ඇමැතිවරයාට ගතු කිව්ව අතර එහි දී සේවකයන් අතරේ දැඩි නොසන්සුන්තාවක් ද හට ගැනිණි.
ආයතනයට අවශ්‍ය නොවන ඇඹරුම් යන්ත්‍ර අමතර කොටස් ගෙන්වීමෙන් රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුවී ඇති බවද එම අමතර කොටස් භාවිත කළ නොහැකි බව ද සේවකයෝ ඇමැතිවරයා හමුවේ පැවසූහ.
අමතර කොටස් ඇණවුම් කළ නිලධාරියා වන සැපයුම් නිලධාරියා එම ස්ථානයේ සිටි අතර සේවකයෙක් ඔහුට චෝදනා කරමින් සහ බැණ වදිමින් පහර දුන් අතර පහර කෑමෙන් ඔහුගේ කමීසය ද ඉරී ගොස් තිබෙනු දැක ගත හැකි විය.
මේකට චීනයට සම්පූර්ණයෙන් ගෙවලා ගෙනත් තියෙන්නේ, ඒ අයට ගෙනියන්න කිව්වට ගෙනි යන්නේ නෑ යැයි එහි දී පොස්පේට් සමාගමේ සභාපතිවරිය වන සන්ධ්‍යා අඹන්වල මහත්මිය අමාත්‍යවරයාට පැවසුවාය.
එවිට ඇමැතිවරයා කියා සිටියේ නිකං බබා වෙන්න එපා. මේ මිනිහගේ වැඩ තහනම් කරලා දාන්න. මෙතෙන්ට ඒ.එස්.පී ගෙන ආවේත්, ඕ.අයි.සී ගෙන ආවේත්, ගැහුවොත් මුං ගහලා එළවන්න. මං ඩී.අයි.ජීටත් එන්න කිව්වා, මුංගේ පැමිණිල්ලක්වත් භාර ගන්න එපා. පට්ට හොරු 04 දෙනෙක් ඉන්නවා මේකේ. මේක හයි කරන්න බෑ’ කියනවා නම් ඉංජිනේරුවා, මේ තමුන්ගේ අම්මා – අප්පාගේ බූදලයක් නෙමෙයිනේ ලක්ෂ 50 ක්. මේක දීලා ආපහු සල්ලි අරන් දෙන්න. පර්චස් කළේ ඔයා නේ.
එහිදී සැපයුම් නිලධාරීවර කියා සිටියේ, ටෙන්ඩර් මණ්ඩලයේ තීරණයට අනුවයි මම මේ මිලදී ගැනීම සිදු කළේ යනුවෙනි.
එහිදී සේවකයන් පිරිසක් කියා සිටියේ ‘ආයතනයේ අල්පෙනෙත්තේ ඉඳන් හොරා කාලා ඉන්නේ’ යනුවෙනි.
අමාත්‍යවරයා – සභාපතිවරු, ඇමතිවරු, ටෙන්ඩර් මණ්ඩලය මාරු වෙනවා, මේ ආයතනය තමුන්නාන්සේලාගේ, අපේ නෙමෙයි, ඔයා කවුද කියලා මේ ආයතනය දන්නවා. තමුසේට විරුද්ධව සී.අයි.ඩීයට පැමිණිලි කරලා තියෙන්නේ, අල්ලස් එකට පැමිණිලි කරලා තියෙන්නේ. මුංගේ ගෙවල්වල ගිහින් පරීක්ෂා කරන්න ඕන, අනං මනං ටෝක් දාන්න එපා මෙතන මීඩියා ඉන්න නිසා. කන පැලෙන්න එකක් ගහනවා, මිනිස්සු හිටියත්, නිලධාරියෙක් වුණාම හොරකම් කරන්න පුළුවන් ලැජ්ජා වෙන්න බෑ,
සැපයුම් නිලධාරියා – ඇමතිතුමා නෙමෙයි කවුරු කීවත් මම මේ ආයතනයෙන් සත පහක්වත් වංචා කරලා නෑ, පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න.
ඔප්පු කරන්න හොරකම් කරනවාද මේ රටේ මිනිස්සු ? යැයි ඇමැතිවරයා එහි දී උස්හඩින් පැවසීය.
අනතුරුව ආයතනයට ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර බව කියන බෑග් තොගයක් අසලට ගිය ඇමැතිවරයා මේ බෑග් කන්නද? යැයි අදාළ නිලධාරීයාගෙන් විමසා සිටියේ. මේ සතියේම මෙයාගේ වැඩ තහනම් කරලා මෙයා යවන්න. එකක් බෑග්, එකක් අර ගියර් බොක්ස් එක. මේකේ ගේට්ටු ගානේ ඇවිල්ලා, පැමිණිලි දැම්මොත් ඒ.එස්.පී මහත්තයා බලා ගන්න. සේවකයෝ ගහලා එළවයි. යන්නම තමයි මේ කියන්නේ. තව තුන් දෙනෙක් ඉන්නවා.