ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.
එමෙන්ම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද එදිනම ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.
මේ වනවිට බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අද දින මෙම නඩු කටයුත්ත සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

