ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පොලිස් සැරයන්වරයෙකු සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (08) මෙම අනතුරු සිදුව තිබුණේ කැප්පෙටිපොළ, කොස්ලන්ද, කොටවිල සහ මාතර පොලිස් වසම්වලදීය.
කැප්පෙටිපොල පොලිස් වසමේ නුවරඑළිය – බදුල්ල මාර්ගයේ අලකොලගාල ප්රදේශයේදී නුවරඑළිය දෙසට ධාවනය වූ ත්රී රෝද රථයක් එම දෙසටම මුහුණලා නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයෙකු වැලිමඩ රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, නුවරඑළිය ප්රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.
මේ අතර කොස්ලන්ද – වැල්ලවාය මාර්ගයේ උඩුමුල්ල ප්රදේශයේදී වැල්ලවාය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොස්ලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, හල්දුම්මුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කොස්ලන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.
මේ අතර කොටවිල පොලිස් වසමේ සුල්තානාගොඩ මාර්ගයේදී සුල්තානාගොඩ දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථ රියැදුරු මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, සුල්තානාගොඩ ප්රදේශයේ පදිංචිවස ටි 68 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර මාතර පොලිස් වසමේ මාතර අකුරැස්ස මාර්ගයේ ගොඩගම අධිවේගී පිවිසුමට හැරෙන හන්දිය ආසන්නයේදී මාතර දෙසට ධාවනය වූ යතුරුපැදියක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටී එක් පැදිකරුවෙකු විසිවී ගොස් බස් රථයට යටවී එම ස්ථානයේම මියගොස් ඇත.
අනෙක් පැදිකරු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

