දිවයිනේ තෙත් කලාපයේ පිහිටි ප්‍රධාන ජලාශවල ජල මට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති වුවද, වියළි කලාපයේ ජලාශවල ජල ධාරිතාව සීඝ්රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
විශේෂයෙන්ම හම්බන්තොට, මඩකලපුව, මොනරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජලාශවල ජල ධාරිතාව මේ වන විට 30%කටත් වඩා අඩු මට්ටමක් දක්වා පහත වැටී ඇති බව ඒ මහතා සඳහන් කර සිටී.
වාරිමාර්ග අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ දිවයිනේ ප්‍රධාන ජලාශ 74හි සමස්ත ජල ධාරිතාව 36%ක් දක්වා පහළ වැටී ඇති බවය.
සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී වියළි කාලගුණයක් පැවතුණද මෙම වසරේ පවතින එල් නිනෝ කාලගුණික විපර්යාසය හමුවේ එම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම පවතින අධික තාපය හේතුවෙන් වැව් සහ ජලාශවල ජලය වේගයෙන් වාෂ්පීකරණය වී සිඳී යාම සිදු වේ.
මෙම තත්ත්වය හමුවේ ජල අවශ්‍යතාව ඉහළ යන නමුත්, ජල සම්පත වේගයෙන් සීමා වෙමින් පවතී.
මේ හේතුවෙන් දැඩි වියළි කාලගුණයෙක් පවතින ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සහ පාරිසරික අවශ්‍යතා සඳහා ජලය වෙන් කිරීමට සිදුවන බැවින්, වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම අපහසු විය හැකි බව ද අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
පානීය ජලය ලබාදීම මෙතෙක් සීමා කර නොමැති වුවද, සමහර ප්‍රදේශ සඳහා වගාවන් වෙනුවෙන් නිකුත් කරනු ලබන ජල ප්‍රමාණය සීමා කිරීමට පියවර ගෙන ඇති බවද එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය.
මෙම අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දීම සඳහා ඇති එකම විකල්පය ජලය ඉතා පරිස්සමෙන් භාවිත කිරීම සහ පරිසරයට සංවේදීව ජීවත් වීම බව ඒ මහතා අවධාරණය කර සිටී.
අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පවතින අධික උණුසුම හා වියළි කාලගුණය හේතුවෙන් ලැව්ගිනි වැනි තත්ත්වයන් ඇති විය හැකි අතර එය ඉතා ඉක්මනින් පැතිර යාමේ අවදානමක් ද පවතින බවය.
ඒ හේතුවෙන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට ද ඒ මහතා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
එමෙන්ම ඉදිරි කාලගුණික වෙනස්වීම්වලට පෙර සූදානම් වීම සඳහා එල්-නිනෝ පුරෝකථනයන් පිළිබඳව නිරන්තරයෙන් දැනුවත්ව සිටීමේ වැදගත්කමද වාරිමාර්ග අධ්යක්ෂවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
මේ අතර එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පෙන්වා දෙනුයේ එම දිස්ත්‍රික්ක 7හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවය.
එමෙන්ම පවුල් 25,628ක පුද්ගලයින් 81,865ක් එල් නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
මෙම බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
ඒ අනුව පවුල් 23,048ක පුද්ගලයින් 72,153 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

