ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සම්බන්ධයෙන් මහජනතාවට, මාධ්‍යවේදීන්ට මෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට නිවැරදි, විශ්වසනීය හා කඩිනම් තොරතුරු ලබාදීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.
ඒ අනුව තම ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම්, 011-7966366 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය සඳුදා සිට සිකුරාදා දක්වා – පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වාත් සෙනසුරාදා – පෙ.ව. 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වාත් ක්‍රියාත්මක වන බවද සඳහන්.
මෙම දුරකථන අංකය ඔස්සේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු සහ පැමිණිලි වාර්තා කිරීම, මාධ්‍යවේදීන් සඳහා ඩෙංගු රෝග ව්‍යාප්තිය, මර්දනය සහ පාලනය සම්බන්ධ නිල තොරතුරු ලබාගැනීම සිදු කළ හැකිය.
එමෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබා ගැනීම, ඩෙංගු මර්දනයට අදාළ අනෙකුත් සියලු තොරතුරු ලබා ගැනීම සහ වාර්තා කිරීම ද මෙම මෙහෙයුම් මැදිරිය හරහා සිදු කළ හැකි වේ.

