ඇෆ්ගනිස්තානයේ සිවිල් සේවකයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය රට පුරා තහනම් කිරීමට තලේබාන් පාලනය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විනිසුරුවන් ඇතුළු හමුදා සහ සිවිල් ආයතනවල සියලුම නිලධාරීන්ට ජූනි 16 වනදා සිට ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇති අතර, නියෝගය උල්ලංඝනය කරන පුද්ගලයින්ගේ දුරකථන විනාශ කර නීතිය යටතේ දඬුවම් ලබාදෙන බව සඳහන් වේ.
රජයේ නිලධාරීන් පවසන්නේ බොහෝ රාජකාරී කටයුතු ජංගම දුරකථන, වට්ස්ඇප් සහ විද්‍යුත් තැපෑල හරහා සිදුකළ බැවින් මෙම තහනම හේතුවෙන් පරිපාලන ක්‍රියාවලීන් දැඩි ලෙස අඩාල වී ඇති බවයි.
පන්ජ්ෂීර් පළාත් ආණ්ඩුකාරවරයා සියලු රාජ්‍ය කාර්යාල තුළ මෙම තහනම වහාම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ.
මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ස්මාර්ට්ෆෝන් ඇෆ්ගනිස්තාන ජනතාවට අධ්‍යාපනය, තොරතුරු ලබාගැනීම සහ සන්නිවේදනය සඳහා වැදගත් මෙවලමක් වී ඇති බවයි.

