මේ දිනවල ළමයින් අතර රෝග කිහිපයක් පැතිර යන බැවින් දෙමව්පියන් ඒ පිළිබඳව විමසිලිමත්බවින් සිටිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත් පා සහ මුඛ රෝගය, සහ මෙනින්ජයිටිස් නම් රෝග මේ වන විට ළමයින් අතර පැතිර යාමක් දක්නට ලැබෙන බවය.
ඒ අනුව මෙම රෝග තත්ත්වයන් සම්බන්ධව දැනුවත්ව මෙම රෝගයන්ට ගොදුරු වීම වළක්වා ගැනීමට පියවර ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එහිදී ඩෙංගු රෝගය සැළකීමේදී එය මාරාන්තික රෝගයක් බවත් උණ, හිසරදය, ඇස් යට කැක්කුම, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව මෙන්ම වමනය සහ බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බවත් දවස් 2කට වඩා උණ රෝගය පවතින්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත්වන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඉන්ෆ්ලුවෙන්සා රෝගය සැළකීමේදී ද උණ සමග කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සමග උණ රෝගය පවතින්නේ නම් දරුවන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරන ලෙසත් දන්වා සිටියේය.

