පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම අද (04දා) සිට සියලුම තේරීම් භාර නිලධාරි කාර්යාලවලදී ආරම්භ වෙයි.
සතියේ වැඩ කරන දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා නාම යෝජනා භාර ගැනීමට නියමිතය.
මැතිවරණ දිස්ත්‍රික් 22 හි තේරීම් භාර නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරි කණ්ඩායමක් නාම යෝජනා පත්‍ර භාර ගැනීම සිදුකිරීමට නියමිතය.
නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 11 වැනිදා මධ්‍යහ්න 12.00 ට අවසන් කිරීමට නියමිතය. ඉන් පසුව නාම යෝජනා ප්‍රදර්ශනය කිරීමටත් ඒ පිළිබඳ විරෝධතා පළ කිරීමටත් පැයක කාලයක් දේශපාලන පක්ෂය, ස්වාධීන කණ්ඩායම්වලට ලබාදී ඇත. ඉදිරිපත් වන විරෝධතා සලකා බලා පිළිගත් හා ප්‍රතික්ෂේප කරන නාම යෝජනා පත්‍ර අදාළ තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
නාම යෝජනා පත්‍ර භාර ගැනීම අවසන් කරන ලබන 11 වැනිදා තේරීම් භාර නිලධාරි කාර්යාල අවට දැඩි ආරක්ෂාවක් යෙදවීමට ඊයේ (03දා) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇත.
එදින එම මධ්‍යස්ථාන අවට රැස්වීම්, පිළිගැනීම හෝ අනවසර එක්රැස්වීම් සිදු කිරීමට ඉඩ ලබා නොදීමට ද එහිදී තීරණය කර තිබේ. නාම යෝජනා පත්‍ර භාර දෙන ස්ථානයට ඇතුළු වන පක්ෂ නියෝජිත ප්‍රමාණය සීමා කිරීමට ද තීරණය කර ඇත.
මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා මේ වනවිට ස්වාධීන කණ්ඩායම් 57 ක් ඇප මුදල් තැන්පත් කර ඇත. ලබන 11 වැනිදා දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.