ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ඇතැයි’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මෙම අදහස් පළ කර තිබුණේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට තවත් අමාත්‍ය ධූර ලබා දෙන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට පුවත්පතකට කළ ප්‍රකාශය අනාවරණය වීමෙන් පසුවයි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් කළ විමසීමකදී සාගර කාරියවසම් පවසා සිටියේ,
“ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස අපි ඉල්ලීමක් කළා. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කැබිනට් මණ්ඩලය සමඟ ඉදිරියට යාමට ඔහු තීරණය කර තිබෙනවා. මෙයින් අදහස් වන්නේ අපගේ ඉල්ලීම වලංගු නොවන බව නොවේ,” යනුවෙන්.
එමෙන්ම වත්මන් අමාත්‍ය මණ්ඩලය ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාට ඔහුගේම තර්ක ඇති බව පැවසූ සාගර කාරියවසම්, රට තුළ බරපතළ අස්ථාවර භාවයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැටහෙන බවත් තවත් විරෝධතා රැල්ලකට යා නොහැකි බවත් මෙහිදී පවසා සිටියා.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ, “නව කැබිනට් මණ්ඩලයක් සඳහා අපගේ සැබෑ ඉල්ලීම තවමත් ඉටු වී නැතත්, වත්මන් තත්ත්වය සහ ජනාධිපතිවරයාගේ තීරණ පිටුපස ඇති හේතුව අපට වැටහෙනවා,” යනුවෙන්.