ජනප්‍රිය ගායක අමල්ගේ පුත්‍රයාත් කොකේන් ලබාගෙන තිබූ බව තහවුරු වෙයි

0
9

ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු පිරිස අතර සිටි ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත‍්‍රයාද කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ, සිදු කෙරුණු රුධිර සාම්පල පරීක්ෂාවලදීයි. එම සාදයට සහභාගී වූ මාකදුරේ මදූෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය ලබාගත් බව ඉකුත්දා සිදු කෙරුණු රුධිර සාම්පල පරීක්ෂාවෙන් අනාවරණ වුණා. ඒ අතර ගායන ශිල්පි අමල් පෙරේරා සහ රංගන ශිල්පි රයන් වැන්රෝයන් ද වනවා.

මෙම පිරිස ඉකුත් 04 වැනිදා අත්අඩංගුවට ගැණුනේ ඩුබායිහි පැවති සාදයකදීයි. මාකඳුරේ මදූෂ්ගේ දෙවන බිරිඳගේ පුත‍්‍රයාගේ උපන් දිනය වෙනුවෙන් මෙම සාදය සංවිධානය කර තිබූ බවටයි වාර්තා වුණේ.

කෙසේවෙතත් පසුව හෙළි වූයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගේ සේවා කාලය අවසන් වීම නිමිති කර ගනිමින් ඔවුන් මෙම සාදය පවත්වා ඇති බවටයි. එහෙත් ජනාධිපතිවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ට වසරක සේවා දිගුවක් ලබාදීමට පියවර ගත්තා.