රටේ ආර්ථිකය ගොඩ නැගීමේ චේතනාවෙන් යැයි කියමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ 19දා ඇඹිලිපිටියේ දී පැවසූහ.
ඉත්තෑදෙමළියේ ධම්මසිරි හිමියන්ට සද්ධර්ම කීර්ති සොනුත්තර කොළොන්න කෝරලයේ ප්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීම නිමිත්තෙන් ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේ පැවති උත්සව සභාවකදී උන් වහන්සේ මේ බව පැවසුහ.
“ඇඹිලිපිටිය කියනකොට ඉස්සර තිබුණේ නරක චිත්‍රයක්. ප්‍රදේශයේ මහා සංඝරත්නය, බෞද්ධ පින්වතුන් එක්වෙලා අඹිලිපිටියට ආධ්‍යාත්මික දියුණුවක් ලබාදීපු බව කිව යුතුමයි. හැත්තෑව වනතෙක්ම අඹිලිපිටිය ප්‍රසිද්ධව තිබුණේ ගංජාවලට මැලේරියාවට අඩුකුලියට කුලීකරුවන් සපයාගන්නා මධ්‍යස්ථානය හැටියට. දඩ මස්වලට මිනීමස් වලටත් ප්‍රසිද්ධියක් තිබුණා.
ඇඹිලිපිටිය යළිත් වරක් ගංජා පුරවරයක් බවට පත්කිරීමේ උත්සාහයක් දැන් ඉදිරිපත් වෙලා තියනවා. දේශීය වෛද්‍ය ඇමතිවරයා පසුගියදා කියනවා ගංජා වගාවට ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර දහදාහක් වෙන් කරන්න යනවා කියලා.
හැබැයි ජනාධිපතිවරයා ඒ කියන්නේ ගංජා කියලා නෙවෙයි. ත්‍රෛලෝක විජය පත්‍ර කියලා. හොඳ බුදධිමතුන් පිරිසක් ඒ නම තියලා තියෙන්නේ. ත්‍රෛලෝක විජය පත්‍ර කියන්නේ තුන්ලෝකය ජයග්‍රහණය කළ කියන එක. කංසා බීලා මත්වුණ කෙනෙකුට හිතෙන්නේ තමන් තුන් ලෝකේ ලොක්කා කියලා.
ගංජා වගාව නීතිගත කළොත් රජයක් බලාපොරොත්තුන ආර්ථික දියුණුවක් නොව සාදාචාරාත්මක පරිහානියක් ඒකාන්තයෙන් ම ඇති වෙනවා. මේ තහනම තියැද්දිත් මේ තරම් වේගයෙන් පැතිරෙනවා නම් නීතිය ඉවත් කළොත් මල් පෝචචියෙත් කංසා වගා කරන්න පටන් ගනීවි.
ගංජා වලින් ලැබෙන වාසිය අති විශාලයි කියලා ආර්ථික විශේෂඥයෝ කියනවා. අපේ රටේ දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ඖෂධීය ශාඛවර්ග නැති කමින් ඖෂධ වර්ග තුන්සිය හැත්තෑ දෙකක් නිෂ්පාදනය නැවතී තියනවා. ඒවා අපි පිටරට යවපු බේත් වර්ග දැන් ඒවා පිටරටින් ගෙන්න වෙලා.
අරලූ, බුලූ, නෙල්ලි පත්පාඩගම, කටුවැල්බටු, බිංකොහොඹ, කොතල හිඹුටු, වෙනිවැල්ගැට, මේවා තමයි ඩොලර් දීලා දැන් ගෙන්වන දුර්ගභ ජාති. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අය දන්නේ නෑ මේවා ලංකාවේ වගාකරන්න පුලූවන් කියලා. මේවා වගා කළොත් කංසා වගාවෙන් ලබන්න පුලූවන් ලාභයට වඩා අතිවිශාල ලාභයක් ලබන්න පුලූවන්.
අපි පාලකයන්ට කියනවා ඇඹිලපිටියේ වැළලූන අතීතය නැවත ගොඩනගන්න දෙන්නේ නැහැ. ඇඹිලිපිටිය යළි ගංජා පුරවරයක් කිරීමේ කූඨ කුමන්ත්‍රණය වළක්වන්න භික්ෂූන් වහන්සේලාත් බෞද්ධ පිංවතුනුත් අනාගත දරු පරපුරට ඇඹිලිපිටිය ඉතුරු කළ යුතුනිසා ඒකාන්ගයෙක් කැපවෙනවා.”