අයවැයට විරෝධය පළ කරමින් ජාතික විරෝධතා දිනයක් ලෙස අද (23) දිනය ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති රැසක් පියවර ගෙන තිබේ.
සංවර්ධන නිලධාරීන්, කළමණාකරන සේවා නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, තාක්ෂණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ගුරු හා විදුහල්පති ක්ෂේත්රවල නිලධාරීන් මෙන්ම වෛද්‍යවරුන් ද මෙම විරෝධතාවය සදහා එක්වීමට නියමිතය.
රුපියල් 25,000ක අතුරු දීමනාවක් සියලු රාජ්‍ය සේවකයන්ට ලබා දිය යුතු බවට වන ඉල්ලීම මුල්කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේය.
මේ අතර රජයට විරෝධය පළ කරමින් අද දිනයේදී කළු ඇඳුමින් සැරසී පාසල්වලට පැමිණෙන බවද විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පැවසීය.
එමෙන්ම මේ සම්බන්ධව අදහස් දක්වමින් සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේනි දිසානායක මහතා පැවසුවේ වත්මන් රජය කම්කරු පන්තියට නොසලකාහරිමින් කටයුතු කිරීම මෙම ගැටලුවලට හේතුව වී ඇති බවය.
අද පැවැත්වෙන වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නංගර මහතා පැවසුවේ අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ ගැටලුවලට හෝ සෞඛ්‍ය සේවයේ ගැටලුවලට කිසිදු විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවය.
මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු නොකළහොත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සැළසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජය විසින් නිර්මාණය කර ඇති ගැටලු විසදීම සඳහා ආණ්ඩුව වහා පියවර ගත යුතු බවද සඳහන් කළේය.

