වසරේ ගතවූ පළමු මාස නවය තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 364ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එම අධිකාරිය පෙන්වා දෙන්නේ, අදාළ කාලය තුළ බරපතළ ලිංගික අතවර කිරීම් සම්බන්ධ පැමිණිලි 114ක් ද ලැබී ඇති බවය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජන සහ ළමුන් සම්බන්ධ වෙනත් පැමිණිලි 9,613ක් ලැබී ඇති අතර, ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් එනම් 1,554ක් පසුගිය සැප්තැම්බර් මාසයෙන් වාර්තා වී තිබේ.
එම පැමිණිලි අතරට ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 169ක්, ලිංගික සූරාකෑම සම්බන්ධ පැමිණිලි 8ක්, ළමුන් වෙළෙඳාමට සම්බන්ධ පැමිණිලි 40ක්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම සම්බන්ධ පැමිණිලි 37ක් සහ ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධ පැමිණිලි 1,889ක් ද ඇතුළත් වේ.
මීට අමතරව, මේ වසරේ ගතවූ පළමු මාස නවය තුළ යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 51ක්, ළමා විවාහ සම්බන්ධ පැමිණිලි 9ක් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පැමිණිලි 99ක් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.
එමෙන්ම, ළමුන්ට එරෙහි සයිබර් හිංසනය සම්බන්ධ පැමිණිලි 196ක් සහ ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි 46ක් ද ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

