සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වර්ෂයෙන් පසු මේ දක්වා කිසිදු වතාවක පූර්ණ ලෙස සංශෝධනය කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය සේවයම බිඳවැටීමේ ආසන්න තත්ත්වයට පත්ව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව අවධාරණය කරයි.
දශක ගණනාවක් පුරා අඩු වියදමින් ඉහළ ඵලදායිතාවයක් පෙන්වමින් ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වූ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය, වත්මන් පරිපාලනමය හා ප්‍රතිපත්තිමය ගැටලු හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සාමාන්‍යයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ප්‍රමිතියෙන් හා සංඛ්‍යාවෙන් පවත්වා ගැනීම සඳහා වසර පහකට වරක් අමාත්‍යාංශය මඟින් කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කළ යුතුව ඇතත් දිවයින ආවරණය වන පරිදි පූර්ණ මට්ටමින් සිදු කළ අවසන් කාර්ය මණ්ඩල සංශෝධනය වාර්තා වී ඇත්තේ 2015 වර්ෂයේ බව එම නිවේදනයේ සඳහන් වේ.
එහෙත් පසුගිය දශකය තුළ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව, සිදු කරන ශල්‍යකර්ම හා අනෙකුත් වෛද්‍ය ක්‍රියාපටිපාටි මෙන්ම පරීක්ෂණ ප්‍රමාණයද අතිමහත් ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මීට අමතරව, නව රෝහල් සහ සුව සේවා ඒකක පිහිටුවීමත්, ප්‍රතිකාර සේවාවන්හි සංකීර්ණතාවය හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිතය ඉහළ යාමත් සිදුවී ඇත්තේ 2015 වසරේ පැවති පැරණි අනුමත කාර්ය මණ්ඩල සීමාවන් මත පිහිටිමින් බව සඳහන්වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස සේවාවන් තවදුරටත් පුළුල් වීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් විශේෂයෙන්ම පසුගිය ආර්ථික අර්බුද සමයේ සැලකිය යුතු වෛද්‍යවරුන් පිරිසක් රට හැර යාම හේතුවෙන් සෞඛ්‍ය සේවයට අහිමි වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව දහස් ගණනක් බවත් ඔවුන් පවසයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අඛණ්ඩව සාකච්ඡා කර තිබුණද, මේ දක්වා කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව එම සංගමය සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණයන් නිර්ණය කිරීම සඳහා පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද පැවතුණද, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එවැනි නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නොමැති බවත් මේ සම්බන්ධයෙන් සති දෙකට පමණ ඉහතදී තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ විමසීම් කළද, මේ දක්වා කිසිදු සාධනීය පිළිතුරක් ලැබී නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.
වත්මන් රජය විසින් යෝජනා කරනු ලබන සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංවිධානයන් සහ නව වැඩපිළිවෙළවල් සාර්ථක කර ගැනීමට නම් පුහුණු කාර්ය මණ්ඩලයක අවශ්‍යතාවය අත්‍යවශ්‍ය වන බැවින්, වහාම සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

