මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
එ් සඳහා වන අධිකරණ නියෝගයක් ද මේ වනවිට ලබාගෙන ඇති බව සඳහන්ය.
එහි ඊයේ (05) සහ අද (06) යන දෙදින තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇත.
ඉන් රැඳවියන් 19 දෙනෙකු මෙන්ම බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ද සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කියාසිටියේ, අද (06) පස්වරුවේ මීගමුව බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.
බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා, බන්ධනාගාරය තුළ තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍රයද රැඳවියන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බව ද සඳහන්ය.
බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් 18 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර බන්ධනාගාරයේ කටයුතු අඬාල කිරීම මොවුන්ගේ මුලික අරමුණ වී තිබී ඇතැයිද පැවසු අධිකරණය අමාත්‍යවරයා, ගැටුමට මුලික වූ රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට සහ වැලිකඩට යොමුකිරීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා පැවසුවේය.
ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම කඩිනම් ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.

