වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබියදී ඊයේ (29) දින ඩීසල් මිල අඩු කරමින් ආණ්ඩු බස් හිමියන්ට වංචාවක් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව ජුලි 01 වනදාට සිට 20%ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කළද දැන් එය 15%ක් හෝ 17% වනු ඇති බවද ගැමුණු විජේරත්න පැවසීය.
කෙසේවෙතත් බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව ප්‍රමාණවත් ගාස්තු වැඩිවීමක් නොලැබුණොත් අධිකරණ ක්‍රියාමාර්ග හරහා ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත්වීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
“ඊයේ රෑ ඩීසල් මිල අඩු කළා. හරි නම් ඩීසල් මිල අඩු කරන්න ඕනේ අද රාත්‍රියේ. “
“අපි සාකච්ඡාවක් ඉල්ලුවා මේ ගාස්තුව කොහොමද හදන්නේ කියලා දැනගන්න. නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සාකච්ඡාවක් දුන්නේ නැහැ. අපිත් දන්නවා ආණ්ඩුව වැඩි මිලට තමයි ඩීසල් ගත්තේ. හරි නම් ඩීසල් 510ට විකුණන්න ඕනේ. වැඩි මිලට ගත්තේ බයට. ඒ පාඩුව දිගටම තියෙනවා. එවන් පසුබිමක අපි දිගින් දිගටම ඉල්ලීම් කළා සංශෝධය ගැන තීරණ අපිට දැනුම්දෙන්න කියලා. නමුත් මේ අය ජුලි 01 සිට තියෙන බස් ගාස්තු කිව්වේ නැහැ.”
“ආණ්ඩුවට ලොකු ගැටලුවක් තියෙනවා..ආණ්ඩුව බය වුණා ප්‍රතිශතය වැඩි වෙයි කියලා. වැඩි පරාසයකින් බස් ගාස්තුව වැඩි වෙයි කියලා අද (30) කරන්න ඕන තෙල් මිල සූත්‍රය ඊයේ (29) කරලා..ඒ ප්‍රතිශතයත් අනිවාර්යයෙන්ම අඩු කරලා තමයි බස් ගාස්තුව ප්‍රකාශයට පත්කරන්න හදන්නේ.”
“මේ කරපු වංචාව ගැන අපි ලිඛිත දැනුම්දීම් කරලා තියෙනවා. අපිව මගහැරලා බස් ගාස්තුව ප්‍රකාශ කරන්න කටයුතු කරනවා. දැන් මෙතනදී 2.8%ක ප්‍රතිශතයක් අඩු වෙනවා.”
“20%ක බස් ගාස්තුවක් එන්න තිබුණේ…ආණ්ඩුව ගන්නකොටත් වංචාව කළේ..බස්හිමියටත් වංචාව කළේ.. හැම මනුස්සයාවම රවට්ටනවා..අපිට අඩුම තරමින් 15%ක්වත් ඕනේ. අවම බස් ගාස්තුව 35ත් 40ත් අතර වෙන්න ඕනේ. ඩීසල්වලින් විතරක් නෙමෙයි බස් දුවන්නේ. ගහලා බැන්ඳත් එකයි..බැඳලා ගැහුවත් එකයි වගේ තමයි ආණ්ඩුව කරන්නේ. මේ ආණ්ඩුව ගෙනියන්න මිනිස්සුන්ට ප්‍රෝඩාවක් කරන්නේ.”
“ආණ්ඩුව තාම හිතන්නේ ඒගොල්ලෝ හරි කියලා..කොකාට වාරයක් එනවා නම් තිත්තයාටත් වාරයක් එනවා කියලා දැනගන්න.”
“බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව අපිට ප්‍රමාණවත් ගාස්තු වැඩිවීමක් ලබාදීලා නැත්නම් අපි නීතිමය පියවර ගන්නවා. අපි අධිකරණයට ගිහින් ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත් වෙන්න කටයුතු කරනවා.”

