පසුගිය පොදුපෙරමුණ පාලන සමයේ උතුරු මැද පළාතේ වැව් සංවර්ධනය කළ බව පවසමින් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය තුළ රුපියල් කෝටි ගණනක වංචාක් සිදුකර ඇති බව කියැවෙන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට එකී විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සියපත් සසිදු වික්‍රමරත්න මහතා මෙසේ නියෝග කළේ උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය තුළ සිදුව ඇති බව කියන මෙම මහපරිමාණ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, උතුරු මැද පළාතේ වැව් සංවර්ධනය කළ බව පවසමින් මීට වසර ගණනාවකට පෙර අදාළ ඒජන්සිය රුපියල් කෝටි 60 කට අධික මුදලක් වංචා කර ඇති බවට එම ඒජන්සියේම වත්මන් සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවය.

