හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදා යාත්‍රා යොදවන ලෙස ඉරාන විප්ලවීය බළකායේ ප්‍රකාශකයෙකු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
අවශ්‍ය වුවහොත් අමෙරිකානු නාවික හමුදා වෙත හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීම ආරම්භ කළ හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කර තිබුණි.
මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය සහ බලශක්ති අපනයනයන් දැඩි ලෙස අඩාල වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
ලෝකයේ තෙල් ප්‍රවාහනයේ වැදගත්ම මාර්ගවලින් එකක් ලෙස සැලකෙන හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා දිනපතා විශාල ප්‍රමාණයේ තෙල් ප්‍රවාහනය සිදුවන අතර, එහි ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවීම ගෝලීය බලශක්ති වෙළඳපොළටද බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයින් පවසති.
පසුගිය සෙනසුරාදා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට අවම වශයෙන් නෞකා නවයක්වත් ප්රහාරයන්ට ලක්ව ඇත. මේ හේතුවෙන් මෙම උපායමාර්ගික ජල මාර්ගය හරහා ගමන් නොකරන ලෙස විප්ලවීය බළකාය නෞකාවලට නියෝග කර තිබේ.

