අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අපරාධ සම්බන්ධයෙන් කොතෙක් දැනුවත් කිරීම් කළද එම ජාලය පරිහරණය කරන ඇතැම් වංචාකාරී පුද්ගලයන්ගේ උගුල්වලට හසුවන පිරිස්වල අඩුවක් තවමත් දක්නට නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මේ අතර මුහුණු පොත හරහා සිදු කෙරෙන වංචාවන් සහ රැවටීම් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යන බවද වාර්තා වේ. මෙලෙස රැවටීම්වලට හසුවන බොහොමයක් කාන්තාවන් වීමද විශේෂත්වයකි. මීට මාස කිහිපයකට පෙර නිරූපිකාවන් ලෙස පෙනී සිටීමට කැමැති යුවතියන්ට සහ පාසල් ශිෂ්‍යාවන්ට මුහුණු පොත ඔස්සේ කෙටි පණිවුඩ එවමින් ඔවුන් රවටා ඔවුන්ගේ නිරුවත් පින්තූර ලබාගැනීමේ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබිණි.
ගුරුවරියක් විසින් එම කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව එක්තරා ප්‍රසිද්ධ විද්‍යාලයක උසස් පෙළ හදාරන ශිෂ්‍යාවක් මෙම උගුලට හසුව ඇගේ නිරුවත් සහ නිරුවත් දර්ශන මුහුණු පොතෙන් එක්තරා ගිණුමක් වෙත යොමු කර ඇති බව නිලධාරීන් අනාවරණය කරගන්නා ලදී. කාන්තාවක් සේ පෙනී සිටිමින් මෙම ශිෂ්‍යාවගේ නිරුවත් පින්තූර ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ඒ වන විටත් සක්‍රිය සේවයේ යෙදෙන යුද හමුදා සෙබළකු බවට හෙළි කරගෙන තිබේ. නිලධාරීන් ඔහුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී එම දුරකථනය තුළ තිබී එවන් ළාබාල යුවතියන් 20කට ආසන්න ප්රමාණයකගේ නිරුවත් සහ අඩ නිරුවත් ඡායාරූප රැසක්ද සොයා ගැනීමට නිලධාරීන් සමත් විණි.
මෙවන් සිද්ධීන් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ යුවතියන් සංඛ්‍යාවද බොහෝය. මිල මුදල්, රන් ආභරණ පමණක් නොව සිය පතිවත පවා අහිමි කරගත් දියණියන්ද මේ අතර සිටී. මෝස්තර නිරූපිකාවන්, ගුවන් සේවිකාවන් සඳහා මෙන්ම චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සඳහා නිළියන් බඳවා ගැනීමේ ඇබෑර්තුද තිබේ යනුවෙන් මුහුණු පොත සහ සමාජ මාධ්‍ය ජාලවල පළ කරන විවිධ පෝස්ට් මඟින් විවිධ කාමතුරයෝ මෙවන් තරුණ යුවතියන් සිය ගොදුරු බවට පත් කරගන්නා අවස්ථා බොහෝ වෙති.
මෝස්තර නිරූපිකාවක් වීමට ආශා කළ මෙවන් යුවතියක් ඇගේ නිරුවත් පින්තූර පවා එම මුහුණු පොතේ ගිණුමට යොමු කළාය. අවසානයේ ඇය නිරූපිකාවක් ලෙස තෝරාගෙන ඇති බව කියමින් වෛද්‍ය පරීක්ෂණයකටද කැඳවිණි.
වෛද්‍ය පරීක්ෂණය සඳහා ඇය ගියේ සිය මව සමඟ සුපිරි තරු පහේ හෝටලයකටය. එහෙත් හෝටල් කාමරයක සිටි වෛද්‍යවරයා ගැන සැක සිතූ යුවතියගේ මව සිය දියණියද ඇදගෙන කාමරයෙන් පිටතට දිව්වාය. ඇය අවසානයේ නතර වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය. විමර්ශන භාර වූයේ පොලිස් පරීක්ෂිකා නදීකා දිසානායකටය.
යුවතියට ලැබුණු දුරකථන අංක ඔස්සේ කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව හෙළිවන්නේ ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වූ පුද්ගලයා වෛද්‍යවරයෙක් නොව කාමාතුරයකු බවය. අවසානයේ මෙම පුද්ගලයා සීගිරිය ප්‍රදේශයේදී කොටු කර ගැනීමට නිලධාරීහු සමත් වූහ. මහනුවර රජපීල්ලේ පදිංචි ඔහු වෛද්‍යවරයකු නොව තිස් හැවිරිදි කෝකියකු විය.
වැඩිදුර කරන ලද පරීක්ෂණයේදී හෙළිවන්නේ මෙම පුද්ගලයා නිරූපිකා සිහින මවා තරුණියන් 30 දෙනකු පමණ වෛද්‍ය පරීක්ෂණයකට යැයි කියමින් හෝටල් කාමරවලට ගෙන ගොස් විවිධ අතවර කර ඇති බවය. එමෙන්ම තරුණියන් 17 දෙනකු සමඟද මොහු ලිංගිකව එක්වී ඇති බවටද විමර්ශනයේදී අනාවරණය විය.
ඉකුත්දා තවත් මෙවැනිම විමර්ශනයක් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් සිදු කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පරිගණක චිත්‍ර ශිල්පියකු “ග්‍රැෆික් ඩිසයිනර්” කෙනකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විය. ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යමින් කාන්තාවන් මුළා කර ඔවුන්ගේ නිරුවත් වීඩියෝපට සහ ඡායාරූප ගෙන්වා ඔවුන්ව ‘බ්ලැක්මේල්’ කරන ලද මොහු මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මොහු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබෙනුයේ ඉකුත් 2025 වසරේ ජනවාරි මාසයේදීය. ඒ පානදුර ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකගෙනි. ඇය පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තැනැත්තියකි.
මෙම පැමිණිල්ලෙන් ඇය සඳහන් කර තිබුණේ මුහුණු පොත හරහා මොහු දැන හඳුනාගත් බවත් පසුව ඇගේ නිරුවත් වීඩියෝ සහ ඡායාරූපද ඔහු වෙත යැවූ බවත්ය. දිගින් දිගටම තවත් නිරුවත් පින්තූර ඉල්ලමින් ඔහු ඇයට කරදර කර ඇති අතර එලෙස ලබානොදෙන්නේ නම් ඒ බව ඇගේ සැමියාට දන්වන බව කියමින් ඔහු ඇයට තර්ජනය කර ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා නදීකා දිසානායකගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඉසුරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශනයක් අරඹන ලදී.
නිලධාරීන් මුහුණු පෙත හරහා සිදු කෙරෙන මෙම පුද්ගලයාගේ ගිණුම හඳුනා ගැනීමට දැඩි උත්සාහයක් ගත් අතර අවසානයේ විදේශීය ෆේස්බුක් සමාගමක් ඔස්සේ මෙම පුද්ගලයා හඳුනා ගැනීමට නිලධාරීන් කරුණු කාරණා සොයාගන්නා ලදී.
එහිදී අනාවරණය වන්නේ ඔහු විසින් භාවිත කරන පරිගණකය සහ ජංගම දුරකථනය සම්බන්ධ කෙරෙන විද්‍යුත් උපකරණ කිසිවකුට හඳුනාගත නොහැකි ලෙස මොහු පරිහරණය කරන බවකි. එමෙන්ම ඔහු වෙනත් නම් කිහිපයකින්ද පෙනී සිටිමින් මෙසේ කාන්තාවන් සිය දැලට කොටු කරගන්නා මොහු තාක්ෂණය සම්බන්ධයෙන් උපරිම දැනුමක් ඇති අයකු බවත් නිලධාරීන් තහවුරු කර ගන්නා ලදී.
මෙලෙස දිගින් දිගටම තොරතුරු සොයමින් මොහු රැඳී සිටින ප්‍රදේශය ගැන කරුණු කාරණා සෙවීමේදී මොහු මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින බවට පරිගණක අපරාධ කොට්ඨාසයේ නවීන තාක්ෂණ ක්‍රමවේද මඟින් අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබිණි.
පසුව මොහු අත්අඩංගුවට ගැනුණු අතර පරිගණකයක්, ජංගම දුරකථනයක් සහ සිම්පත් හතරක්ද නිලධාරීන් සිය භාරයට ගන්නා ලදී. පසුව මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මොහු නොයෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඇති අයකු බවත් පරිගණක සහ ජංගම දුරකථන අලුත්වැඩියාව සම්බන්ධයෙන්ද තාක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන්ද මනා දැනුමක් ඇති අයකු බවටත් තහවුරු කෙරුණු අතර එම දැනුම භාවිත කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා කාන්තාවන් සමඟ සබඳකම් පවත්වමින් ඔවුන්ගේ නිරුවත් දර්ශන සහ වීඩියෝපට ලබා ගෙන ඇති බවත් විමර්ශනයේදී හෙළි වී තිබේ.
විමර්ශන නිලධාරීන් පවසන්නේ සැකකරු භාවිත කළ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ කාන්තාවන් 400කගේ පමණ නිරුවත් වීඩියෝපට දර්ශන අඩංගුව ඇති බවය.
ඒ අනුව වසරකට ආසන්න කාලයක් පුරා කරන ලද පරීක්ෂණයකින් පසු සැකකරු ඉකුත්දා අත්අඩංගුවට ගැනීමට පරිගණක අපරාධ කොට්ඨාසයට හැකිව තිබේ. ඒ කරන ලද දීර්ඝ තාක්ෂණික විමර්ශනයකින් පසුවය.
ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ 2023 වසරේ සිට මොහු මෙම ක්‍රියාව සිදු කර ඇති බවත් කාන්තාවන් මුළාකොට ඔවුන්ගේ නිරුවත් පින්තූර සහ දර්ශන දිගින් දිගටම ගෙන්වා ගැනීම ඔහුගේ උපක්‍රමය බවත් එලෙස ලබානොදෙන කාන්තාවන් බිය කොට එම ඡායාරූප සහ වීඩියෝපට ඔවුන්ගේ හිතවතුන්ට, සැමියන්ට යවන බවට බියකොට ඇති බවය.
සැකකරුගේ විශේෂත්වය වනුයේ මොහු මෙම ක්‍රියාව සඳහා භාවිත කරන ජංගම දුරකථනයට අමතරව ෆේස්බුක් ගිණුමට ප්‍රවිෂ්ට වීමට භාවිත කර ඇති අන්තර්ජාල සබඳතාවන්ද හඳුනාගත නොහැකි ලෙස තාක්ෂණය යොදාගෙන තිබීමය. ඒ හේතුවෙන් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයා කවුද යන්න හඳුනාගත නොහැකි තත්ත්වයක් පැවැතීම නිසා මොහු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට මාස 12කට ආසන්න කාලයක් ගත වූ බවත් එම කොට්ඨාසය සඳහන් කරයි.
කෙසේ වෙතත් මොහු මෙලෙස කාන්තාවන්ගේ නිරුවත් වීඩියෝපට ලබාගෙන ඇත්තේ කුමක් සඳහාද යන්න සම්බන්ධයෙන් විමර්ශනය අරඹා ඇති අතර එම වීඩියෝපට අන්තර්ජාලයට මුදාහැර මුදල් ඉපැයුවේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බව වාර්තා වේ.
එමෙන්ම මොහු විසින් ලබාගෙන ඇති සෙසු කාන්තාවන්ගේ නිරුවත් දර්ශනවලට අනුව ඔවුන් හඳුනා ගැනීමක්ද සිදු කිරීමට නියමිත බව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමටද නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ සහ එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, නියෝජ්‍ය අධ්යක්ෂ පොලිස් අධිකාරි දර්ශන කුරුකුලසූරිය අධීක්ෂණය භාර කාන්තා සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමප්පෙරුම යන අයගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නදීකා දිසානායකගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි

