ගිනි නිවන හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමට සූදානමක් පවතින බව කොළඹ මහ නගරසභාවේ ගිනි නිවීම් ඒකකයේ ප්‍රධාන ගිනි නිවන නිලධාරි පී.ඩී.කේ.ඒ. විල්සන් පැවසීය.
මෙරට ගිනි නිවන හමුදාවේ සියවසකට අධික ඉතිහාසයේ මෙතෙක් කලකට ගිනි නිවන හමුදාවට කාන්තාවන් බඳවාගෙන නොතිබිණි.
එහෙත් මේ වන විට එම හමුදාවට කාන්තා නිලධාරින්ගේ අවශ්‍යතාවක් පැන නැගී ඇති අතර ඒ වෙනුවෙන් මේ වන විට අවශ්‍ය යෝජනා සහ සැලසුම් සකස් කර ඇති බව ප්‍රධාන ගිනි නිවන නිලධාරි පී.ඩී.කේ.ඒ. විල්සන් පැවසීය.
මීට වසර දෙකකට පමණ ඉහතදී ද ගිනි නිවන හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමට යෝජනා ඉදිරිපත් කළද එම අවස්ථාවේදී එය ක්‍රියාත්මක නොවූ බව හෙතෙම කීවේය.
කාන්තාවන් බඳවා ගැනීමේදී බස්නාහිර පළාතේ පිහිටි පළාත් පාලන ආයතන යටතේ පාලනය කෙරෙන ගිනි නිවීම් ඒකක අට සඳහා පළමු අවස්ථාවේදී වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඉන් කොළඹ මහ නගරසභාවේ ගිනි නිවීම් ඒකකයට නියමු ව්‍යාපෘතියක් ලෙස කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවද ප්‍රධාන ගිනි නිවන නිලධාරි පී.ඩී.කේ.ඒ. විල්සන් කීවේය.
කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට පෙර ඔවුන්ට අවශ්‍ය නේවාසික නිවස්න, නිල ඇඳුම් ඇතුළුව සියලු අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

