අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2025 වසරේ ප්‍රගති වාර්තාවට අනුව, මේ වන විට මරණීය දණ්ඩනය නියම වූ දේශීය හා විදේශීය සිරකරුවන් 817 දෙනෙකු දිවයිනේ බන්ධනාගාර තුළ රඳවා සිටින බව අනාවරණය වී තිබේ. 2025 වසරේ සැප්තැම්බර් 30 වන දිනට අදාළව නිකුත් කර ඇති මෙම දත්තවලට අනුව, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන් 73 දෙනෙකු ද බන්ධනාගාර ගතව සිටින බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
වාර්තාවේ දැක්වෙන සංඛ්‍යාලේඛනවලට අනුව මරණීය දණ්ඩනයට යටත් වූ දේශීය සිරකරුවන් සංඛ්‍යාව 811ක් වන අතර, ඊට පිරිමි පුද්ගලයින් 792ක් සහ කාන්තාවන් 19 දෙනෙකු ඇතුළත් වේ. මීට අමතරව විදේශීය සිරකරුවන් 05 දෙනෙකු සහ ත්‍රස්තවාදී චෝදනා ලැබූ එක් අයෙකු ද මෙම පිරිස අතර සිටියි. මෑතකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනෙකුට ද ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

