ට්රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව විසින් පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්යග්රහය හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළේ මාළු මිල ගණන්වල සුළු වැඩිවීමක් දක්නට ලැබේ.
මෙම තත්ත්වය හමුවේ මාළු වෙළෙඳන් පවසන්නේ, මේ දිනවල වෙළෙඳපොළ වෙත පැමිණෙන මාළු තොග ප්රමාණයේ අඩුවක් පවතින බවය.
එහි ප්රතිඵලයක් ලෙස මාළු තොග මිල ගණන් මෙන්ම සිල්ලර මිල ගණන්ද සුළු ලෙස ඉහළ යන බව ඔවුහු සඳහන් කරති.
එවන් පසුබිමක අද (10) දින පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ මාළු තොග මිල ගණන් ලෙස කෙලවල්ලා මාළු කිලෝවක් රුපියල් 2,700ක්, තෝර මාළු කිලෝවක් රුපියල් 3,600ක් සහ පරා මාළු කිලෝවක් රුපියල් 3,000ක් ලෙස දැක්වුණි.
මීට අමතරව සාලයා මාළු කිලෝවක් රුපියල් 700ක්, ලින්නා මාළු කිලෝවක් රුපියල් 900ක් සහ බලයා මාළු කිලෝවක් රුපියල් 2,000ක් ලෙසද මිල ගණන් සටහන්ව තිබුණි.
වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, මෙම සත්යග්රහය තවදුරටත් දිගු වුවහොත් මාළු මිල ගණන් තවත් ඉහළ යා හැකි බවය.

