අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර කලාසූරී, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමීයේදි සිදුකිරීමට නියමිතය.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලඥයින් රැසක් පැමිණ සිටියහ.
සතිස්චන්ද්‍ර…ශබ්දයෙන් ගත්ත ද අර්ථයෙන් ගත්ත ද සලකුණක් ලෙස ගත්ත ද එය අද්විතීය නමකි.
වචනයේ පරිසමාප්ත අරුතින්ම ශ්‍රී ලාංකිය කලාව පනස් වසරක් පුරා ආලෝකවත් කළ සතිස්චන්ද්‍ර නම් වූ ඒ ප්රතාපවත් පෞරුෂය පසුගිය 23 වනදා සිය ජීවන රඟමඬලෙන් බැසගියේය.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී දිවිගමනට සමුදෙන විට එදිරිසිංහයන්ගේ වයස අවුරුදු 84කි.
1941 පෙබරවාරි 11 වැනි දින උපත ලද සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් කැලණිය ධර්මාලෝක විද්‍යාලය ඇතුළු සිප්හල් රැසකින් අධ්‍යාපනය ලැබූ අතර කලාවට නියත විවරණ ලැබුවේද පාසල් සමයේදීමය.
වේදිකාවෙන් කලාවට පිවිසි ඔහු සිනමාවේ සිය නම තබන්නේ 1973 වසරේ සිය තුරුණු වියේදීම මාතර ආච්චි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි.
ආචාර්ය වික්ටර් රත්නායකයන් චිත්‍රපට සංගීත අධ්යක්ෂණයට පිවිසෙන්නේත් සතිස්චන්ද්‍රයන්ගේ සොයුරු සුනිල් එදිරිසිංහයන් ගායන ශිල්පියෙක් ලෙස කලඑළි බසින්නෙත් එම සිනමා නිර්මාණය තුළින් වීම මෙම සිනමාපටයේ විශේෂත්වයකි.
චිත්‍රපට 40කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකවී සිනමාපට රැසක් අධ්‍යක්ෂණය කළ ඔහු 80 දශකයේදී එක මවකගේ දරුවෝ ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයට ද එක්වුණි.
මේ අතර එතැන් පටන් සතිස්චන්ද්‍ර යනු ශ්‍රී ලාංකික ටෙලි කලාවට ද නැතිවම බැරි ප්රතාපවත් පෞරුෂයකි.
ධනාත්මක චින්තනය සහ පෞරුෂ ගොඩනැංවීම පිළිබඳ දේශකයෙක් ලෙසත් එදිරිසිංහයන් සමාජය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළේය.
ගත් කතුවරයෙකු ද වූ ඔහු විසින් රචිත ග්රන්ථ සංඛ්‍යාව 25කට අධිකය.
ශ්‍රී ලාංකේය කලා අඹර රංගනයෙන්, භාෂාවෙන්, සාහිත්‍යයෙන් පෝෂණය කළ සතිස්චන්ද්‍රයන්ගේ නික්ම යාම මෙරට විදග්ධ කලාවේ හිස්තැනක් නිර්මාණය කර අවසන්.
