දින කිහිපයක් තිස්සේ අඛණ්ඩව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවන දරුණු ආපදා තත්ත්වයන් අද 28 තවදුරටත් ඉහළ යමින් පවතින බවත් විවිධ ප්‍රදේශවලින් නායයාම් ගංවතුරට කොටුවී සිටින තැනැත්තන් වාර්තා වෙන බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන යාන්ත්‍රණය ශක්තිමත් කර ගනිමින් දැඩි පරිශ්‍රමයක් දරමින් ආපදා හඳුනා ගනිමින් ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක වීම සිදුවන බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.
හපුතලේ කහගල වත්තේ ලයින් පේලියක සිදුවූ නාය යාමකින් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වී තිබේ.
තිස්පහ හැවිරිදි මව දහ හතර හැවිරිදි දියණිය දහය හැවිරිදි පුතා මෙහිදී ජීවිතක්ෂයට පත් වී තිබේ.
බදුලු ඔය පිටාර ගැලීමත් සමග බදුලු රෝහලද ජලයෙන් ගැටවී තිබිණි. මහියංගනයේ රෝහලද ගංවතුරට යටවීම රාත්‍රියේ සිදුවූ අතර දැවැන්ත මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.
බදුලු පිටිය අත්වැල් පාලම අසල සිරවී සිටි ගංවාසීන් මුදවා ගැනීමට යුද හමුදා පිරිස් කටයුතු කළේය.
සුමන තිස්සගම ජලගැලීමෙන් අවතැන්ව සිටි අවසන් පිරිසක් ගුවන් හමුදාව මැදිහත්ව ඊයේ රාත්‍රියේ මුදවා ගනු ලැබීය.
කළුගහ කඳුර පන්සල අසල විශාල නායයාමක් සිදුවිය කකුල කැඩුණු රෝගියකු රෝහල්ගත කළ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසීය.
බබෝලියද්ද නවය කණුව තල්දෙන ගංවතුරට කොටුවූ 15දෙනකු මුදවා ගනු ලැබීය.
ඔයාවත්ත නාය අනතුරකින් දෙසීයක් මුදවා ගැනීමට යුද හමුදාව කටයුතු කළේය.
එහිදී දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවද සඳහන් බණ්ඩාරවල ඇටම්පිටිය මාර්ගයට ඉහළින් සිදුවූ නායාමකින් නිවාස තුනක් විනාශ වී ඇති අතර එම සුන්බුන් මාර්ගයට පතිත වී අවහිර වී තිබුණි.
උමා ඔය පිටාර ගැලීම හේතුවෙන් වැලිමඩ නගරයේද යටවිය.
අවතැන් කඳවුරුවලට පිසූ ආහාර ලබාදීම සඳහා එළදළුව යුද හමුදා කඳවුර මේ වන විට සැලසුම් සකස් කර තිබේ.
අද උදෑසන වෙන විට සියලුම අවතැන් කඳවුරුවලට පිසූ ආහාර ලබාදීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.
නාය සමග පිළිසකර කළ මාර්ග නැවත නාය ගොස් අවහිර වීම නිසා ප්‍රධාන මාර්ග රැසක්ම මේ වන විට අවහිර වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසීය.
අයහපත් කාලගුණය මධ්‍යයේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ 99 බස් රථ ධාවනය සීමා කර ඇති අතර බදුල්ල සිට කොළඹ දක්වාත් මොනරාගල සිට කොළඹ දක්වාත් බස් රථ දෙකක් ධාවනයේ යෙදවීමට බලධාරීන් තීරණය කර තිබේ.

