කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ඇතුළු ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක් පවතින බව වෛද්‍යවරු පවසති.
කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයේ වෛද්‍යවරු නිර්දේශ කරන ‘ඉන්සියුලින්’ ප්‍රමාණයෙන් අඩක් පමණක් නිකුත් කරන බවත් ඉතිරි ‘ඉන්සියුලින්’ ප්‍රමාණය ගැනීමට පසුව පැමිණෙන ලෙස දැනුම් දෙන බවත් වෛද්‍යවරු පැවසූහ.
දියවැඩියා සායනයේ වෛද්‍යවරු නිර්දේශ කරන තවත් ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව කියන වෛද්‍යවරු එම ඖෂධ පෞද්ගලිකව මිලදී ගන්නා ලෙස සටහන් කරන බව ද සඳහන් කළේය.
රටපුරා සෙසු මූලික සහ දිස්ත්‍රික් රෝහල්වල් බොහෝමයක ‘ඉන්සියුලින්’ දැඩි හිඟයක් පවතින අතර එම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට මාස ගණනකින් ‘ඉන්සියුලින්’ නිකුත් කර නොමැති බව කියන වෛද්‍යවරු මෙම තත්වය හමුවේ දියවැඩියා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද කීහ.
ඇතැම් දියවැඩියා රෝගීන්ට මාසයකට ‘ඉන්සියුලින්’ කුප්පි හතරත් පහත් අතර සංඛ්‍යාවක් අවශ්‍ය බව කියන වෛද්‍යවරු එම ප්‍රමාණය මිලදීගැනීමට රුපියල් 10,000 කට ආසන්න විශාල මුදලක් අවශ්‍ය බව ද සඳහන් කළහ.
ජාතික රෝහලේ ඖෂධ නිකුත් කරන ස්ථානයෙන් ප්‍රකාශ කරන ආකාරයට රෝගීන්ට ඉතිරි ‘ඉන්සියුලින්’ ප්‍රමාණයට ගැනීමට නැවතත් සායනයට පැමිණ වෛද්‍යවරු හමුවී නිර්දේශ කරනවා ගැනීමට සිදුවන බවත් එසේ කිරීමට රෝගීන්ට තව දුරටත් රස්තියාදුවීමට වන බවත් වෛද්‍යවරු පවසති.
කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණීම නිසා තදබදයක් ඇති බව කියන වෛද්‍යවරු ‘ඉන්සියුලින්’ නිර්දේශය ගැනීමට රෝගීන් නැවත පැමිණීමෙන් තදබදය තව දුරටත් ඉහළ යන බව ද සඳහන් කළහ.