වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට අටකට ආසන්න ප්‍රමාණයකින් අයවැය හිඟය අඩුකර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බව ලෝක බැංකුව පසුගියදා නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව සිදුකළ වෙනස්කම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තියුණු මෙන්ම වේගවත් බව ද ලෝක බැංකුව පැවසුවේය.
ශ්‍රී ලංකාව තමා ආර්ථිකය ගොඩ ගැනීමට ගත් උත්සාහය 1980 වසරේ සිට ඊට සමාන සිදුවීම්වලින් ආර්ථිකයන් ගොඩ ගැනීමට රටවල් 123 ක් ගත් උත්සාහයන් 330 ක් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාව තම ආර්ථිකය බොහෝ රටවල් වලට වඩා වේගවත්ව ස්ථාවර කරගෙන තිබෙන බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකයේ වැඩි ප්‍රමාණය ස්ථාවර වී ඇති බැවින් රාජ්‍ය මූල්‍ය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධිය සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇතැයිද ලෝක බැංකුව පැවසුවේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සමාලෝචනය : සමබර මූල්‍ය ගැලපුමක් උදෙසා නැමැති ලෝක බැංකු වාර්තාවට අනුව ආර්ථිකය ස්ථාවර කිරීමට මෙරට රජය ගත් මූල්‍ය ක්‍රියාමාර්ග විශේෂයෙන් මෙරට දුප්පත් පවුල් වලට දැඩි පීඩනයක් එල්ල කර ඇති බවත් ආර්ථිකය ස්ථාවර කිරීමට රජය පැනවූ වක්‍ර බදු සහ අවම රාජ්‍ය අංශයේ වැටුප හේතුවෙන් මෙරට පවුල් එලෙස පීඩනයට පත්ව ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය සඳහා ලෝක බැංකුවේ අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට ආර්ථිකයේ වැඩි කොටස මේ වන විට ස්ථාවර වී ඇති නිසා දැන් අභියෝගය වී ඇත්තේ ශ්‍රී ලංකාව එකතු කරන සහ වියදම් කරන සෑම රුපියලකින්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීම බවයි.
මින් අදහස් වන්නේ සෘජු බදු පිළිබඳව අවධානය යොමු කරමින් බදු පරිපාලනය නවීකරණය කිරීමත්, රාජ්‍ය මූල්‍ය වඩාත් සාධාරණ හා කාර්යක්ෂම අයුරින් සිදු කිරීමත් යැයි ඔහු සඳහන් කළේය.